Sunday, 15 May 2016

මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය, 4 වන කොටස

4 වන කොටස
 මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය

ඇල්ගී කාමරය
මා හැචරියේ ආසාවෙන් වැඩ කළ හා මගේ ප්‍රියතම  ස්ථානයයි, මොකද ෆුල් ඒ සි ය. අපි වර්ග කිහිපයක ඇල්ගී වගා කළෙමු. ඒ අතර ග්‍රීන් ඇල්ගී ස්පයිරෝලිනා හා ස්යිටෝසිරස් දුබුරු ඇල්ගී මුලික වේ. මුළින්ම මට ලැබුණේ ටෙස්ට් ටියුබයක ඇති ඇල්ගී පෙට්‍රි දිසියකට ගැනීමයි. මුලින්ම ඒගාර් මාද්‍ය සාදාගෙන එය පෙට්‍රි දිසි වලට දමා කාමර උෂ්ණත්වයට ආපසු ටෙස්ට් ටියුබයේ ඇති ඇල්ගී පෙට්‍රි දිසියට කුඩා කම්බියක් ආදරයෙන් දමනු ලැබේ. මෙය දින කිහිපයකින් වර්දනයවෙයි. පසුව එය වෙනත් පරීක්ෂණ නළයකඇති ද්‍රව මාද්‍යකට මාරු කරයි. පසුව මෙය තරමක්  විශාල විදුරු බෝතලයකට මාරු කරයි. තවත් දිනකින් මෙහි වර්ණය පරික්ෂා කර තද පාට නම්  ලීටරයක පමණ විදුරු බෝතලයකට මාරුකරයි.වර්ණය වැඩි වෙන්නේ ඇල්ගී හොදින් වැඩෙන නිසයි.යම් අවස්ථාවක මේ වර්දනය උපරිම මට්ටමකට පැමිණේ. එවිට වෙනත් ප්‍රමාණයෙන් විශාල  භාජනයකට මාරු නොකළොත් ඇල්ගී “කලෑප්ස්” වන අතර ටෙක්නිශියන් අපි සමග “ක්‍රෑෂ්”වේ. අවසානයේ ලීටර් 10 – 20 ප්‍රමාණයේ පොලිතින් කවර වල ඇල්ගී වැවීම සිදුකරයි. මෙම ඇල්ගී ඉස්සාගේ ජිවන චක්‍රයේ දෙවන හා තෙවන අවස්ථාවට ඉතා වැදගත් ආහාරයක් වේ.ලෙඩ රෝග වලින් තොර ක්‍රියාශීලි ශක්තිමත් සතුන් ඇති වීමටත්  ඔවුන්ගේ මරණ අනුපාතිකය අඩු වීමටත්  සතුන්ට ලබා දෙන ඇල්ගී වල තත්වය හා ප්‍රමාණය  බලපායි. එසේම ජලයේ තත්වය හොදින් පවත්වා ගෙන යාමටද(ඇමෝනියා ප්‍රමාණය, පි එච් අහය හොද මට්ටමක පවත්වා ගැනීමටත්) ඇල්ගී උපකාරීවේ..
එක්තරා කාලයකදී අපේ සියළුම ඇල්ගී “ක්‍රෑෂ්” විය. වතුරේ තත්වය මෙයට බලපැවා විය හැක. නැත්නම් අපි වර්දනයට ගත්තාවූ මුල් සාම්පලය(කල්චර් එක) පරණ වී තිබුනාද විය හැක. අල්ලපු හැචිරියත් සමග වැඩි ගනුදෙනුවක් නොතිබූ බැවින් ඔවුන්ගෙන් සාම්පලයක් ඉල්ලීමටද නොහැක.
ස්පයිරෝලිනා (ග්‍රීන් ඇල්ගී)

මහා සයුරේ ඇල්ගී මෙහෙයුම
පසුව අපි ෆිලිපින් ක්‍රමයට ඇල්ගී සොයා මහ මුහුදේ මෙහෙයුමක් අරබුවෙමු. මුළින්ම ලීටර් විස්සේ කෑන් දෙකක් ගෙන එයට අඩි දෙක හමාරක පමණ දිග වයරයක්  දෙකොනෙන් ගැට ගැසුවෙමු. මේ ආකාරයයේ සෙට් දෙකක් හදා ගත්තෙමු. එකක් මටය, අනෙක මෙහෙයුමේ නායක බෝසීගේ හබියාටය.මෙය ඈත මුහුදේ ටිකවෙලාවක් වතුර මත පාවෙමින්  සිටීමට උපකාරීවේ.  අගල් හතක පමණ විෂ්කම්බය ඇති අතන්ගුවක් හදාගත්තේ විශේෂ දැලකිනි(මෙය මයික්‍රෝන සියේ දැලක් විය යුතුය, දැන් මතක අමතකය)වෙරළේ සිට මීටර් පන්සියයක් පමණ දුරකට අපි පිහිනා ගියෙමු.ගංගාවල පිහිනා ඇතත් මුහුදේ මෙවැනි දුරක් පිහිනන විට සිතේ පොඩි චකිතයක් ඇති වුවේය.බඩ වටා ඇති වයරයේ ගැටයක් ගැලවුනොත් හෝ කෑන් එකකට වතුර පිරුනොත් අපි අනතුරේය. අතන්ගුව මගින් අප වතුරේ ඇති ඇල්ගී අල්ලාගෙන කුඩා බාජනයකට දමා ගත්තෙමු. ඇත්තෙන්ම මෙහිදී මට වැඩි දෙයක් කිරීමට නොදුන් බොසී ගේ මහත්තයා ඔහු තම රටේදී මාළු බාන ආකාරය මට විස්තර කර කිවේය.උදෑසන නවයට පමණ ආරම්බ කළ අපේ මෙහෙයුම අවසන් වුයේ පැය දෙකකට පමණ පසුය.
මුලින්ම මෙසේ එකතුකරගත් වතුරේ දුබුරු ඇල්ගී විශේෂය ඇත්දයි අන්වීක්ෂයෙන් පරික්ෂා කළෙමු.එවිට සියුම් වැලිකැට වැනි කිටෝසිරස් දුබුරු ඇල්ගී දුටුවෙමි. පසුව එම සාම්පලය ගෙන කුඩා ටැංකියකට දමා වර්දනයට අවශ්ය රසායන ද්‍රව්‍ය යෙදුවෙමු. දින කිහිපයකින් වතුර දුබුරු පැහැ වුයේ ඇල්ගී හොදින් වර්දනය වීම නිසයි. පසුව එයින් සාම්පලයක් ගෙන ඇල්ගී කාමරයේ වැඩ පටන් ගත්තෙමි.ටැංකියකත් හදන්ඩ පුලුවන්නම් ඒ සි කාමරයක් මොකටද කියා ඔබට සිතෙනවා ඇත. ඒත් හිරු එළියට නිරාවරණය වූ ටැංකි වල ඇති ඇල්ගී දිනක් දෙකක් ගතවූ විට විනාශවේ. කාමරයේ කුඩා බෝතල්,පොලිතින් උර වල සැදු සාම්පල ගොඩක් ඇති නිසා දෙක තුනක වර්දනය නැවතුනත් ගැටළුවක් නැත.

බිත්තර වලින් ආ නොප්ලයි පැය දොළහකින් පසුව සොයියා අවස්ථාවට පත්වේ.
මෙහිදී රවුම් හැඩ ඇති සතා සිලින්ඩරාකාර වෙන බැවින් පහසුවෙන් හදුනාගත හැක.මෙය අවදානම් අවස්ථාවක් වන අතර රූපාන්තරණය නොවූ සතුන් මියගොස් ඇති බව නිරීක්ෂණය කල හැක.දහවල් හා රාත්‍රියේ ටැංකියේ උෂ්ණත්වය එකහා සමානව පවත්වා ගත යුතුය. මේ සදහා ටැංකිය කළු ඉටි රෙද්දකින් ආවරණය කිරීම සුදුසුයි.සතුන් පරික්ෂා කිරීමට සෑම ටැංකියකටම වෙන වෙනම විදුරු කෝප්පයක් භාවිතා කරන්න.මෙයට විදුරු අඩු කෝප්පයක් ප්‍රමාණවත්ය. මේ අවස්ථාවට පත්වූ සතුන්ට දුබුරු ඇල්ගී හා “ස්පයිරෝලිනා” නම් කොළ ඇල්ගී විශේෂය ලබා දියයුතුය. එහෙත් මේ කොළ ඇල්ගී විශේෂය ලංකාවේදී සොයා ගැනීමට අපහසු නිසා කෘතිමව සැකසු “ස්ප්යිරෝලිනා” පැකට් ඉස්සන් සදහා ආහාර විකුණන කඩයකින් ගෙන දවසට දෙවරක් යෙදීම සුදුසුය. දිනකට තෙවරක් කෑම යෙදිය යුතුය. කෑම යෙදීමට පෙර වතුර පරික්ෂාකර ජලයේ ඇල්ගී ඇත්දයි බැලිය යුතුය. සතුන් ක්‍රියාශීලිද,හොදින් ආහාර ගන්නවාදැයි පරික්ෂා කලයුතුය. හොදින් ආහාර ගන්නේ නම් පිටුපස පෙදෙසින් අගලක් දෙකක් පමණ දිග කෙස් ගසක් පමණ  “කක්කා වැලක්”{fecal chain} දැකිය හැක.නිරෝගී සතුන් හොදින් පිහිනයි, ඉස්සන් මෙන් ගැහෙමින් පිහිනනවා නම් වහාම අන්වීක්ෂයෙන් බැලිය යුතුය. බොහෝවිට පරපෝෂිත ජීවීන්ගේ හෝ දිලීර ආක්‍රමණයක් විය හැක.ආලෝක අන්වීක්ෂයෙන් කුඩා පුළුන් කෙදි මෙන් ඇති දිලිර සුත්‍රිකා පහසුවෙන් හදුනා ගත හැකිය. අන්වික්ෂිය පරපෝෂිත ජිවින්ද හදුනා ගත හැක. එවිට ජලය මාරු කිරීම හා  “මලකයිට් ග්‍රීන්” යෙදීම කරණු ලැබේ.
ආ(ර්)ටිමියා නොහොත් බ්‍රයන් ශ්‍රිම්ප්

“ශ්‍රිම්ප්” යන නම තිබුණත් ඉස්සන්ට නෑදෑකමක් නැත. සොයියාවන් ඊළග රූපාන්තරණය වන මයිසිස් ආකාරයට පත්වූ විට මාංශ ආහාර වලට කෑදර වෙයි. මෙහිදී බිත්තර වලින් එලියට ආ ආටිමියා හොද ආහාරයකි. කඩවල වියලි ආටිමියා ටින් ඇත. විසිතුරු මසුන් ඇති කරන්නන් මත්ස්‍ය පැටවුන්ට ආටිමියා දෙන්නේ පැහැපත් වර්ණ ඇති මසුන් ලබා ගැනීමටයි.( For better pigmentation)
මොවුන්ද කරදියේ වෙසෙන නිසා ලවණතාව 30 – 35 අතර මුහුදු ජලයේ හොදින් වැඩේ. නමුත් බොහෝ විසිතුරු මසුන් ඇති කරන්නන් ආටිමියා සෑදීමට සාමාන්‍ය ජලයට ලුණු කලවම් කරනු දක්නට ලැබෙයි. එහෙත් එය එතරම් සාර්ථක නොවේ. බොහෝ ආටිමියා බිත්තර වලින් පැටව් නොසැදී බොල්වෙයි. අටිමියා සතුන්ට ඊස්ට් දියකර ටැංකි වලට යෙදිය යුතුය. එය ඔවුන්ගේ ආහාරයයි. මෙම ආටිමියා සෑදීමට වෙනම කාමරයක් ඇත්නම් වඩා සුදුසුය.ලීටර් 250 – 300 පමණසිලින්ඩරාකාර  ෆයිබර් ග්ලාස් ටැංකි සුදුසුය. මයිසිස් තත්වයට රූපාන්තරණය වූ සතුන්ගේ වර්දනයට මේ සජීවී ආහාරය දීම අත්‍යවශ්‍ය වේ.
සොයියා මයිසිස් බවට පත්වීම
සිලින්ඩරාකාර සතුන් ඉස්සාගේ බාහිර ස්වරූපයට පත් වන්නේ මේ අවස්ථාවේදීය. මෙම රූපාන්තරණය සදහා ජලයේ උෂ්ණත්වය තදින්ම බලපායි, උෂ්ණත්වය අඩුවූ විට දිලිර ආසාදනය හා වෙනත් රෝගී තත්වයන් ඇතිවේ. වැහි කාලයක් වුවහොත් ටැංකි වලට හීටර් යොදා ජලයේ උෂ්ණත්වය වැඩිකලයුතු අවස්ථාද නැත්තේ නොවේ. නියමිත කාලයට රූපාන්තරණය සිදු නොවුනොත් සියළුම සතුන් මියයයි.
භාන්ඩ නිෂ්පාදන කම්හලක් නම් අඩු පාඩු ඇති භාණ්ඩ නැවත සැකසිය හැක. එහෙත් සජීවී නිෂ්පාදනයකට ඒවා වලංගු නොවේ. ටැංකිවල සතුන් 50% පමණ දුර්වලවී  මිය යමින් ඇත්නම් ක්ලෝරීන් දියර යොදා මුළු ටැංකියම ඉවත් කල යුතුය.
ම්යිසිස් අවස්ථාවේදී සතුන්ට හොදින් ආටිමියා හා  කෘතීම ආහාර සැපයිය යුතුය.දින කිහිපයකින් ම්ය්සිස් පැටවුන් නියම ඉස්සෙක් බවට පත්වේ. මේ අවස්ථාව පොස්ට් ලාවී (කටවහරේ පි එල් ) ලෙස හදුන්වයි. මේ සෑම රූපාන්තරණයක දීම හැව ඇරීමක් (shell removing) හෙවත් භාහිර සම ගැලවීමක් වන මුත් එය පැහැදිලිවම දැක ගත හැක්කේ ම්ය්සිස් පි එල් අවස්ථාවට පත් වන විටයි.
පොස්ට්ලාවී අවස්ථාව

දේහයේ හැඩය හා පිහිනන ආකාරය,ඉදිරි ගාත්‍රා සුහුබුල් සතාට සමානයි. ඇල්ගී වැනි ශාක ප්ලවාංග වලට වඩා ආටිමියා වැනි ආහාර වලට ප්‍රිය කරයි. ඇති තරම් ආහාර නොලැබුණොත් දුර්වල සතුන් ගොදුරු කර ගනී. මේ සෑම රූපාන්තරණයක්ම සිදුවූ වෙලාව හා දිනය සටහන් කර තබා ගැනීම වැදගත් වන අතර පි එල් අවස්ථාව විශේෂයි. එනම් සතාගේ වයස ගණනය කරන සම්මත ආකාරය  පි එල් අවස්ථාවට පත්වූ දින සිටයි. පි එල් 5 යනු දවස් පහක් වයස සතෙකි. නමුත් සත්‍ය නම් මෙයට නොප්ල්යි,සොයියා හා මයිසිස් ලෙස ගත කළ දින ගණනද එකතු විය යුතුය. මෙසේ නර්සරි ටැංකි වලට මාරු කරන විට කොපමණ සතුන් ප්‍රමාණයක් ඇත්ද කියා ගණනය කල යුතුය. මේ සදහා ජලය ලීටර් 1000 දක්වා අඩු කර සාම්පල කිහිපයක් ගෙන ගණන් කළ හැක.

තවත් විස්තර ඊළග පොස්ට් එකෙන්..

25 comments:

  1. වෙනදා වගේම ආසාවෙන්ම කියවගෙන ගියා. මොකද අපි කෙල හලාගෙන කෑවාට ඉස්සෝ වගා කරන එක ගැන දනන් හිටියේ නැහැනේ. උසස් පෙලට ජලජීවී වගාව ගැන ඉගැන්වුවත් මට මතක විදියට ඉස්සෝ ගැන කියා දුන්නේ නෑ. ඉතින් තවත් කොටසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති ඔබට..

      Delete
  2. අගෙයි කතාව....... ඇල්ගී කිව්වා ම නිකං බනිස්වගේ දෙයක් කියලයි දැනුණේ.........

    ReplyDelete
    Replies
    1. ඇයි විද්‍යා පොතක් අතින් අල්ලලාවත් නැද්දෝ ?. හහ් හහ්...

      ජයවේවා !!!

      Delete
    2. කුරුටු පැටවු ගේ විහිළු...හිහ..හී

      Delete
  3. මම හිතාගෙන හිටියේ ආටිමියා කියන්නේ වියලා ගත් ඉස්සෝ බිත්තර කියලා...
    ඉතාම සිත්ගන්නා ලෙස ඔබේ මේ කරුණු ලියා තියෙනවා, ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ,
      ආටිමියා සතෙක්ගේ පින්තුරයක් ගූගල් දෙයියන්ගෙන් ඉල්ලා ගත්තා, ඔන්න බලන්ඩෝ...ස්තුති ඔබට..

      Delete
  4. බොල්ගොඩ ගඟේ කබ්බ ( phosphorescence ) මතක් වුනා

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් ලියමු, ඒ ගැන..

      Delete
  5. Replies
    1. ස්තූති කලනේ ...

      Delete
  6. ස්තුතියි මචං , කවදා අහපුවද මේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති අටම් ..

      Delete
  7. නියමයි මචං... උඹ කල පුරුද්දෙන් ලියන හිංදා පැටලිල්ලක් නෑ.අර මුහුදෙ පාවෙලා ඇල්ගී හොයන එකත් පට්ට අත්දැකීමක් නෙ.
    පුළුවන් නම් ඉස්සගෙ ඒ ඒ අවධි වල රූපෙකුත් දැම්ම නං ජාලෙට නොගිහිං මෙතනදිම වැඩේ ගොඩ දා ගන්න තිබුනා..
    එල කිරි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී, එහෙම තනි පොටෝ හම්බ වුණේ නෑ. මම තව හොයල බලන්නම්..කළින් පොස්ට් එකේ ජිවන චක්‍රයේ පින්තුරයක් එල්ලුවා ...

      Delete
  8. Replies
    1. ආ පත්තර මල්ලී....

      Delete
  9. පට්ට මචං.......කවද අහපුවද මේව....හැක් හැක්...ටැකූවෙවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුති රසික....

      Delete
  10. උඹ නම් පුතේ ඉස්සෙක් නෙමේ පොකිරිස්සෙක්!!!!!!

    ප්‍රෝන්ස් , ශ්‍රිම්ප්ස් සහ ස්කැම්පි අතර වෙනස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රෝන්ස් , ශ්‍රිම්ප්ස් අතර වෙනස
      ප්‍රෝන්ස් පූර්ව ගාත්‍රා යුගල්දෙකක් දක්නට ලැබේ.සාපේක්ෂව දේහ ප්‍රමාණයෙන් විශාලයි.
      ශ්‍රිම්ප්ස් පූර්ව ගාත්‍රා එක යුගලක් පමණක් ඇත..

      ස්කැම්පි කියන්නේ ඉස්සන්ගෙන් පිළියෙළ කරගත් ආහාරයක් කියලයි ගූගල් දෙවියෝ කිව්වේ...

      Delete
  11. හතරක් ලියලද? හරි පිළිවෙලින් කියෙව්වා . වටිනා ලිපිපෙළක් ! අලුත්ම අත්දැකීමක් ! ස්තුතියි ගොඩාරියක් !

    ReplyDelete
  12. ගොඩක් ස්තුති මෙතූ..

    ReplyDelete
  13. තාක්ෂණික පැත්තත් එක්කම පොඩි පොඩි අත්දැකීම්, රසවත් සිද්ධියක් දෙකක් දැම්ම නං කම්මැලි නැතුව කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මේ කොටසෙදි කතාවක් ලිව්වේ නැති එක අඩුපාඩුවක් උනා තමයි...

      Delete

හිතෙන දෙයක් කොටලයන්න