Thursday, 13 April 2017

New Year in Nayinamadama (අතීත ආවර්ජනා)



ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමටම සුබම සුබ නව වසරක් වේවායි කියා මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. බොග්ගල හොරු ගෙනිහින්ද කියලවත් හොයන්ඩ වෙලාවක් තිබුණේ නැ හිටං!
 දැනුත් මේ බුකියෙ ( මම කිව්වේ පේස් බුකියෙ)  දැකපු කමෙන්ට් එකක් බලද්දී මේක ලියන්ඩ හිතුනෙ පරණ මතකයක් අළුත් උන හින්දා.
සකල සිරිලංකා වාසින්ටම සුබ පැතුවට අළුත් අවුරුද්ද සමරන්නේ බවුද්දයෝ හා හින්දු ආගමිකයන් විතරයි.
එදත් සිංහල අළුත් අවුරුදු දවසක්,
වෙලාව උදේ 10 10.30 ට ඇති.
අඟලෝ මොකද බං අපේ තාප්පේ උඩ නැගලා කරන්නේ , තෝ වැටිච්ච පොල් අහුලන්ඩ කුරුමානම් අල්ලනවා නේද බොල"
මම ඈත ඉදන්ම කෑගහන්නේ කම්මැලි කමට, ඌ කවදාවත්ම පොල්ගෙඩියක් හොරෙන් ගත්තේ නෑ, ඒකට උගේ බාප්පා, මහා හොරා. 
"තාප්පේ අයිති හැචරියට" කොට ජීවියෙක් උනත් මුගේ කට හෙන සැරයි.

“අඩෝ අද හැචරියයි වත්තයි දෙකම අයිති මට” බොසා සතියකට කළින් කොළඹ ගියා, පිළිපින් ජෝඩුවත් උදේම මීගමුවේ යාලුවෙක්ගෙ ගෙදර ගිහිං, සෙකුරිටි අයිය උදේම ඇවිත් වටයක් කැරකිලා ගියා.
දැන් මන් තුමානේ මෙතන  පොර...
දැන් අඟල ගැන පොඩි විස්තරයක් කියල ඉමුකො හිටං.

 තාත්ත නැති උනාට පස්සේ මුන්ගේ අම්ම (එයත් කොට ජීවියෙක්) කොල්ලත් එක්ක ජිවත් උනේ අපේ ඉස්සෝ හැචරියට එහා පැත්තේ ඉඩමේ.වැඩකලේ පොල් කොහු වලින් බුරුසු හදන පැක්ටරියක.අපේ ඉස්සෝ හැචරිය තිබුණ ඉඩමට එහා පැත්තේ ඉඩමේ  පදිංචි වෙලා හිටියෙ එදාවේල හොයාගන්ඩ කුලීයක් මලියක් කරන මිනිස්සු.ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල  වහලෙට විතරක් නෙවෙයි බිත්තිත් හදල තිබුනේ පොල් අතු බැඳල, ඒත් සමහර සල්ලිකාරයන්ගේ ගෙවල් වල නැති සතුට,සමාදානය, අන්‍යොනය බැදීම ඒ පැල්පත් වල තිබුණා. පොල් අතු හෙවිල්ලුවට ඒ ගෙවල් සමහර සල්ලිකාරයන්ගේ ගෙවල් වලට වඩා පිරිසිදුයි.
   
"බැහැපන් තාප්පෙන් පහළට, යකෝ  තොගෙ #කේ බෝතල් කටු ඇනෙයි" මම මුව අවුස්සන්ඩම කෑගහනවා.
 තාප්පෙ උඩ පැත්තේ බෝතල් කටු ගහල තිබුණේ, තාප්පෙට අතතියල නගින්ඩ බැරිවෙන්ඩ.
“මෙතන බෝතල් කටු නෑ මම ඔක්කොම කඩල දැම්මා”
“අඩෝ උබ රෑට වත්තට පනින්ඩ විදුරු කටු ටික කැඩුවා නේද”
“නෑ නෑ අයියෙ මෙතනට නැගල ඉදගත්තම එක පැත්තකින් වැල්ලට බෝට්ටු එනවද කියල බැලියහැකි, අනික් පැත්තෙන් රවුම් පාර පේනවා”
රවුම් පාර කියල කිව්වේ ඒ දවස් වල තාර දාපු නැති ප්‍රදාන පාරෙ ඉදල වැල්ලට එන්ඩ තිබුණ පාර.

බොරු නොකිය වරෙන් ඉස්සරහ ගේට්ටුව පැත්තට යන්ඩ” 
කියන පරක්කුවෙන් මූ අපේ වත්ත පැත්තට පනිනවා.
ගුරු පාර අයිනෙ මායිමේ තිබුණේ කළු පාට ගාපු තඩි ගේට්ටුවක්,  සිකුරිටි අයිය කතාවට කිව්වේ ගේට්ටුව අරින්ඩ අලි මස් කන්ඩ ඕනෙ කියල. ගෙට්ටුවේ විසාලත්වෙට බරට හරියන්ඩ නෙවෙයි ඒකෙ රෝද හයි කරලා තිබුණේ, වැස්සට රෝද දුවන යකඩ එල්ලයරින් එකට වැලි ගියහම ගේට්ටුව හදපු එකාගේ පරම්පරාවම මතක් කර කර තමා අපි ගේට්ටුව අරින්නේ.

ගේට්ටුව එහා පැත්තට ගියහම පාර පාරෙන් අනික් පැත්තේ කළපුව අත ළග, වතුර කොළ පාටයි. ඇළක දොලක වතුර වගේ නෙවෙයි පිරිසිදු කමක් නැ, ඒත් මිනිස්සු ඕකේ බැහැල දැල් දානවා අතංගු ගහනවා.
ටික වෙලාවක් ගියහම පාර දිහා , කළපුව දිහා බලාගෙන ඉන්න එකත් එපා වෙනවා.
“දවල්ට කෑමත් නැ බං යන්ද බැසිල් අයියගෙ චයිනීස් එක පැත්තේ”
“යන් යන් අද මටත් වැඩක් නෑ ”  චයිනිස් කිව්වොත් කොටා අපායට හරි එයි.
 හැචරියේ මළකඩකාපු රතුපාට බයිසිකලේ අරං මම පාරට එනකොට අඟල  උගෙ  කබල් මවුන්ටන් එක අරං පාරට වෙලා බලා ඉන්නවා. ඒක මොන්ටිසෝරි යන පොඩිඋන් පදින බයිසිකලයක් වගෙ.
“චිකන් හාෆ් දෙකක් ගමු” කොටා යන ගමන් උපදෙස් දෙනවා.
“ඒයි ගේට්ටුව වහලනේ කතා කරපං බලන්ඩ”
බැසිල් අයියේ, බැසිල් අයියේ” කිසි සද්දයක් නැ.
 “කරාස් , කරා..ආස් “මවුන්ටන් බයික් එකක් පිටිපස්සෙන් ඇවිත් කනගාවම තඩි බෙරෙක් පාරක් ගහල  නවත්තනවා.
මොන @#$% එකෙක්ද කියල බලද්දී ගොටුකොලයා, ගිටාර් එකත් කරේ එල්ලන් පැට්ටිස් ගිහිං.
“ අද චයිනීස් එක වහලද බං” බූට් සිංදුවක් කියන ගායකයෙක් වගෙ මෝඩ් එකකින් මං අහන්නේ.
“කුක් අවුරුද්දට ගෙදර ගිහිං, බැසිල් අයියල සෙට් එකම වන්දනාවේ ගිහිං”
“මොන වන්දනාවේද බං, බැසිල් අයියල ආගම මාරු කරලද”
මගෙ ඇස් ගෙඩි දෙක එළියට පනින්ඩ වගෙ.
නෑ බං ------ පල්ලි ගිහිං
ආ එහෙමද අපි එහෙනං හංදියෙ එකටවත් යමු”
“උබලා වැරදිලාවත් හංදියේ චයිනීස් එකට එහෙම යන්ඩ එපා”
“ඒ මොකද බං” ආයෙත් අපි දෙන්නම මයියන් වෙනවා.

“ගිය සතියෙ සෙට් එකක් ඇවිත් හංදියේ චයිනීස් එකෙන් කාල, බත් වල හූනෙක් හිටිය කියල වලියක් දාගෙන සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා.
“ මොනවා යකෝ මාර පොරවලනේ”
“ඔව් බං උන් වැඩේට සෙට් වෙලාමයි ඇවිත් තියෙන්නේ, දැන් මුදලාලියට මල පැනල ඉන්නෙ,  එදා රෑ ආව එකෙක් කියල සැක හිතුන ගමන් දෙකේ හතරෙ පොල්ලකින් කෙලලා දානවා.
“ලලිත් අයියෙ අපි ගෙදර යමු නේ” අඟල කියන්නේ ගොත ගගහා.
  “අදනං ගියාට වැඩක් නැ, ඒකෙත් කුක් ගමේ ගිහිං ඇති. ගොට්ටා  අත වනාගෙන මාරු වෙනවා.
“එහෙනං පාන් රාත්තලක් අරං ගිහිං ප්‍රිජ් එකේ පොඩි මාළු ටිකක් තිබුණ ඒක හොද්දක් හදල කමු.
ඒ අවසන් තීරණය ගන්නෙ මන්තුමා.
අළුත් අවුරුද්ද සැමරුවේ නැතුවට මුහුදුකරෙටත් අවුරුද්දේ හෙවනැල්ල වැටෙනවා..   



Friday, 4 November 2016

කවිද සිංදුද මන්දා....



හිත හීන අරං
හැම රෑම ඇවිත්
ඔබ ගැනම හිතං
දාන තරම්........

හැමදාම නැතත්
එක දිනක ඇවිත්
හිත ළගට වෙලා
ඔබ උන්න තරම්.......

ඔබ ළගක නැතත්
හිත ළගට ඇවිත්
මා දෙසම බලන්
හිනහෙනා තරම්....

හිත දුරක ගියත්
ඔබ ළග නැතුවත්
මද පවනෙ වෙලී

ඔබෙ සුවද ඇවිත්.. 

කොහොමද මිත්‍ර වරුනි, 
අන්තිමේදී පොඩි විවේකයක් ලැබිල බොග පැත්තේ ආවා...

Friday, 26 August 2016

පංසලේ දානේ හා මළගෙවල් වල සොදුරු මතක වියට්නාම් 02


හෙට පංසලේ දානයක්ලු යමුද? වසර ගණනාවක් අත්දැකිම් ඇති නඩේ ගුරා අහන්නේ අපෙන්ය.
හරි යමු කීයටද යන්නේ? ලොක්කාගෙන් ගැටළු ඇති නොවන ආකාරයට කාලය කළමනා කරගත යුතුය.
“එකොළහ හමාරටවත් යන්ඩ ඕනෙ” ඒ ගුරාය.
“ඒ වෙලාවට ලොක්ක ඔෆිස් එකේ ඉන්නවා, කෝල් එකක් එහෙම දුන්නොත්,දොළහ පහුවෙලා යමන්”
අපේ ලොක්කාද සුපිරි පොරකි. පරික්ෂනාගාරයට ඇමතුමක් ගන්නා ඔහු දුරකතනයට මුලින්ම අමතන්නාගෙන් අහන්නේ අනිකා ඉන්නවාද කියලාය. එතකොට දෙන්නාගේම පැමිණීම සටහන් වෙනවාය, ගහට ගිය මිනිහාට කියන්න කරුණු තිබුණාසේ අපිටද කියන්න ඕනේ තරම් කරුණු ඇත.
හොදම  හේතුව සල්ෆර් ප්‍රතිශතය බැලීමට සාම්පල් ගෙනඒමට ගියා කීමය, නැත්නම් “ප්‍රඩක්ෂන් ලයින් එක බලන්ඩ ගියා කීමත් ලකුණු ලැබෙන හා ඔහු බලාපොරොත්තුවන පිළිතුරුය.
“හා එහෙනං දොළහට යන්” මම ගමන ඉස්තිර කළෙමි.
මේ දෙදහස් පහ වසරේ අගභාගයේ සිදුවුවකි. එවක අප ලාංකිකයන් කිහිප දෙනෙක්  දකුණු වියට්නාමයේ කර්මාන්තශාලාවක සේවය කළෙමු. එවක බොහෝ දෙනෙක් එදිනෙදා කටයුතු සදහා භාවිතා කලේ යතුරු පැදියි.හිස් ආවරණ පැළදීම අනිවාර්ය කර තිබුණේ නගරයෙන් පිටත කැලෑ පාරවල් වලට පමණි.මේ නිතිය වසර කිහිපයකින් වෙනස්වූ අතර පසුව  සෑම විටම හෙල්මටයක් පැලදීම අනිවාර්ය විය. ප්‍රධාන නගරයක් ආසන්නයේ සිටියත් කාරයක් දක්නට ලැබුණේ කලාතුරකිනි. වැන් වලින් දුර ගමන් හා විනෝද ගමන් යනු දක්නට ලැබුණු අතර අග නගරයේ සිට ක්‍රියාත්මකවූ කුඩා බස් රථ සේවාවක් දක්නට ලැබුණි. භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ද මේ බස් රථ වලින්ම සිදුකෙරුණි.
   “ටිකක් කළින් වරෙන් උබට නාගන්ඩත් ඕනේ නේද? ඒ ගුරාය.
“හරි මම ටිකක් කළින් එන්නං උබ සිරාට ලැහැස්තිවෙලා ඉන්ඩ කියහන්කෝ”
 මම කිවේ සිරිදාසයා (මේ ඇත්ත නම නොවේ) සමග  ගමන් යැම ගැන සියළුම දෙනා දන්නා නිසාය. මුළින්ම කාමරයට එන්නෙත් සිරාය ඒත් ගමනක් යනවිට ලැහැස්තිවී අන්තිමටම ගෙයින් එළියට එන්නේත් ඔහුය. ඒ අපි කිහිප දෙනෙකුගේ කෑගැසීම් මධ්‍යයේය.
දැන් සියළුදෙනාම ලැහැස්තිවී මිදුලේ සිට  සිරාට බැන බැන සිටින අවස්ථාවයි.
“ දැන් දානෙට මොනවාද අපි ගෙනියන්නේ” මා ඇසුවේ සිරා පාරට එනතෙක්  හැමෝගෙන්ම මුදල් එකතුකර ඒ වැඩෙත් ඉවර කල හැකි බැවිණි.
“ පිස්සුද බං මෙහෙ එහෙම මුකුත් අරං යන්ඩ ඕනේ නැ” ඒ ගුරාය.
“යකෝ එතකොට පංසලේ දානේ කාල එන්ඩද යන්නේ” පන්සල් වලට දානදෙනවා හැරෙන්ඩ පන්සල් වලින් දානේ කානැති මට මේවා මැජික්ය.

පංසල ආසන්න වෙත්ම එහි ප්‍රධාන ගේට්ටුව විවුර්තකර ඇති බව දක්නට ලැබුණි. නොයෙක් වර්ණයෙන් යුත් කොඩිවලින් සැමතැනම සරසා තිබුණි. අළු පැහැයට හුරු කිමෝනාවක් වැනි ඇදුමක් හැද සිටි ලොකු හාමුදුරුවන් අප වෙත පැමිණ කථා කළහ. ටික වෙලාවකින් අපි බැංකු වල ඉදගෙන මේසයේ පිගන් වලට බෙදාදුන් දානය කෑවෙමු. ඌරු කටක් ඇති මටනම් එය රසවත් කෑම වේලක් විය. එහෙත් මොන දෙස දිපන්කරේක ගියත් මිරිස් තුනපහ රස හොයන දූපත් මනසිකයන් නම් “හයියෝ කිසි රහක් නෑ” පුරුදු ගීතය ගැයුවේය.

පිළිමගෙයි තිබු බොහෝ පිළිම අපිට ආගන්තුක ඒවා විය. පංසල ඉදිරිපිට ඇති විශාල සුදු පැහැ පිළිම මතු බුදුවන බෝසත් රූපය. ඒවා අසල ඇති සිංහ ප්‍රතිමාව වෙත යන කාන්තාවෝ එම පිළිමය අතගා තම දෑත හා දෙපා එම අතින්ම පිරිමදින්නේ නිරෝගී බව හා ශක්ති සම්පන්න ජිවිතයක් ලැබේවායි පතමිනි. මොවුන් ගේ වන්දනාව සදිසා නමස්කාරය සිහිකරවයි. හදුන්කූරු කිහිපයක් පත්තුකර ගාථා කියමින් සෑම දිශාවකටම හැරී වන්දනා කරනු දුටුවෙමි.
ලංකාවේ පන්සල් වල ඇති කිසියම්ම දෙයක් මෙහි තිබේදැයි හාත්පස බැලූවිට දුටුවේ සිදුහත් බෝසතාණන් ගිහිගෙය හැරගොස් කඩුවකින් තම කෙස් වැටිය කපන ආකාරය දැක්වෙන බිතු සිතුවමකි. කන්ථක අසු හා චන්න ඇමතියාද බෝ ගසක්ද චිත්‍රයේ විය.
 එතෙක් වෙලා මගේ ටිකිරි මොළයට වදදුන් ප්‍රශ්ණය දැන් අසා දැනගත හැක. ලොකු හාමුදුරුවෝ අසළින් යනවිටම “සිල්ලෝයි”(සමාවන්න) කියා දැවෙන ප්‍රශ්නය විචාළෙමි.
“මේ බෝ ගසක් පංසලේ නැද්ද” බෝ ගසේ චිත්‍රය පෙන්වා ඉංගිරිස් නාම් අච්චාරු භාශාවෙන් ඇසුවෙමි.
“බෝධිය තිබෙන්නේ ඉන්දියාවේ” ඔහුගේ පිළිතුර විය.
(By google street view)
මළ ගෙදර විත්ති
අප කර්මාන්තශාලාවේ වැඩ පරීක්ෂකවරයෙකුගේ සීයා මැරිලාය. සවස තුනට පමණ අප මල ගෙදර යෑමට සැරසුනෙමු.සියළුදෙනාම අත්දිග කමිස හැ පොලිශ්කල කළු සපත්තුදා හැඩවී සිටියේ මගුල් ගෙදරකට යන්නට මෙනි.ඒ මා සහබාගිවූ ප්‍රථම මළගෙදරයි. ප්‍රධාන පාරේ සිට අතුරු පාරවල් කිහිපයකම කිලෝමීටර තිහක පමණ දුරක් ගමන්කළේ අඩි දෙක හමාරක් තුනක් පමණ කුඩා කොන්ක්‍රීට් යෙදූ අතුරු පාරවල් වලය. කුඩා ඒදඩු වැනි පාලම් වලින් එගොඩ උනේ බයේ ගැහෙමිනි.එවැනි පාලම් වල දෙපස ඇඳි නොතිබුණු අතර හදිසියේ ලිස්සා ගියහොත් කකුලක් තැබීමටවත් ඉඩක් නොතිබිණ.ගූගල් දෙයියා දුන්න පාළමට වඩා පළලින් අඩු බොහෝ පාලම් ඇත.
එක වරම ඇසුණු බෙර හඩකින් අපේ ගුරා කිව්වේ මළගේ ළග බවයි. ඒ අතර “බයික් පදින උන් වැඩිය බොන්ඩ එපා, දැක්කනේ පාරේ හැටි” යැයි සත්තමක්ද දැම්මේය..
“මාරයිනේ මළගෙවල් වල බොන්ඩත් දෙනවාද” පුදුමයට පත් මම ඇසුවෙමි.
 ගැනීමට පහසු තැනකින් යතුරු පැදි නැවැත්වූ අපි නිවසට ගියෙමු. අප පිළිගත් වැඩ පරීක්ෂකවරයා ටොපි හා කොළ තේ(ග්‍රීන් ටි) පිලිගන්වුවේය. පසුව අප මිනියට වැඳිමට අතුල්ගෙට ගියෙමු. වසා ඇති මිනීපෙට්ටියේ මුහුණ පමණක් පෙනෙන සේ වීදුරුවක් යොදා තිබුණි. බෙර වාදකයන් හා නලා කාරයන්ගේ තාලයට අනුව පත්තුකරන ලද හදුන්කූරු දෑතින්ම අල්ලා වඳිමින් පහත් වෙමින් දන ගහමින් විනාඩි කිහිපයක් මේ ආචාර කිරීම සිදුවිය. පසුව මිදුලේ තිබූ මේස වටා අප සියළුදෙනාම හි ගත්තෙමු. 
ඒ අතර අප වෙත පැමිණි කම්හලේ මිතුරා මියගිය තැනැත්තා ගැන විස්තර කියමින් හරිම කණගාටුයි “බෝන්වා” කිවේය. අයෙක් “පූලේ” බෝතලයක් හා කුඩා වීදුරුවක් (මිලිලීටර 50 – 75) ගෙන එය පුරවා වැඩපරික්ෂක වෙත දුන් අතර ඔහු තරමක් බි ළගින් සිටි කෙනාට දෙයි. මේ ආකාරයට වීදුරුව මේසය වටා යයි. වීදුරුව හිස්වූ සැණින් එය පුරවන්නේ අපේ කම්හලේ මිත්‍රයාය. එකම වීදුරුවෙන් බීමත් කලවමකට අයිස් වතුරවත් නැතුව අමුවෙන්ම පානය කිරීමත් නිසා ඒ බිම දෙවෙනි වටයෙන්ම  මට එපා විය. ඒකටත් හරියන්නට පසුව ගෙනා බත්, බිම්මල් පොහොට්ටු හා කුඩා කොළ වර්ග යොදා සකස්කළ සුප් බඳුනෙන්  වැඩි හරියට වගකිවෙමි.

මළගෙදරින් පිටත්වී ආපසු එන ගමනේදී යනවිට තිබුණු පාරේ  නුහුරු ගතිය වළවල්, ඒදඩු කිසිවක් තිබුණා දැයි මතකයක් නොවුයේ සැන්ඩි කිසිවක් නැතුව සරිරගතවූ ඇල්කොහොල් නිසා විය යුතුය...

Monday, 1 August 2016

වියට්නාම් මතකයන්,

 පෙන්සුයි දෙයියා හෙවත් පොලවට අදිපති බඩ තඩි භූතයා 

ඒ දෙදහස් පහ වසරේ  මුල භාගයයි.එම  කාලයේ මම වියට්නාමයේ බෙන් ටෙයා නගරයේ කර්මාන්ත ශාලාවක සේවය කලෙමි. සවස් වරුවේ වැඩ අවසන් වූ සැනින් නවාතැනට ගොස් මිතුරෙකු සමග නගරයේ විසිතුරු බලන්නට යෑම මගේ දින චර්යාවක් විය. නොදන්නා රටක් වීමත් යුද්දයේදී  ඇමරිකන් සොල්දාදුවන්ගේ බෙලිකපාගෙන ගිය මිනිසුන් සිටියා කියා අසා තිබීමත් මගේ කුතුහලය දෙගුණ තෙගුණ කිරීමට සමත් විය. අප බොහෝවිට කරන්නේ පලතුරු බිම කඩයකට ගොස් අලුත් පලතුරු බිම විදුරුවක රස බැලීමයි. පසුව නගරයේ ඇති පොත් කඩ කිහිපයට ගොඩවන්නේ බිත්ති සැරසිලි ලෙස සැකසු අලංකාර චිත්‍ර බැලීමටයි.



කිබුල් ගොවිපොළක සත්තුන්ට කෑම දමන ආකාරය

“අතන තියෙන්නේ ඔරිජිනල් ෆුලේ(රුසියාවට වොඩ්කා සේ වියට්නාමයට ෆුළේය ) කඩයක්,නයි වයින් තියෙනවා “ ඒ වියට්නාමය ගැන ලංකාවටත් වඩා හොදට දන්නා මගේ මිත්‍රයාය.

“යමන් ඕවනේ බලන්ඩ ඕනෙ “ මම ඉස්සර උනෙමි.

එක පසෙක කුඩා නයි පැටවුන් පෙනය කරගෙන ඉන්න ආකාරයේ බෝතල් රාශියකි. මෙයනම් මාර ආශ්චර්යයකි,මගේ මිතුරාට අනුව පන ඇති සතුන් බෝතල් තුලට දමා පසුව අරක්කු පුරවයි, එවිට නයා මියයන්නේ පෙනය කරගෙනය, එහෙත් මියගිය පසු පෙනය පුම්බගෙන සිටීම නම් පුදුමයට කරුණකි. එයට පහලින් ඊට තරමක් කුඩා බෝතල් වල ගෝනුස්සන් දැමු බෝතලය. මියගිය සතුන් උවත් සමේ පැහැයේ වෙනසක් නැත.
“අන්ඩෝ , අන්ඩෝ  සින්චව්" කඩේ සිටින මාමා හිතන්නේ අපි ඉන්දියන් කාරයෝ කියාය.

මගේ මිතුරා ඔහුට ලංකාව ගැන කියයි. ලොක්කාට එය මිටර් නොවන පාටකි. නයි වයින් බිමෙන් කොන්දේ අමාරු, දණහිස් කැක්කුම් සමනය වේ. මිලි ලීටර් පහක පමණ සාම්පල් දෙකක් මුදලාලි මහතා අප දෙදෙනාට පිරිනැමිය. අපි ඉස්තුති පුර්වකව එය පිළිගත්තෙමු.

 “එපා කියල නිකන් බෙල්ල කපාගන්නේ මොකටද නේ” !

බොහෝ නිවෙස් වල අරක්කු නිෂ්පාදනය කරත් ෆුලේ නම් ගමේ නිපදවන නියම බඩු පමණක් විකුණන මෙම වෙළද සල බෙන් ටෙයා නගරයේ බොහෝ ප්‍රසිද්දය.
හාත්පස බැලු මට හෝචිමිං තුමාගේ රාමු කරන ලද පිංතුරයක් මුදල් කවුන්ටරයට ඉහළින් තබා එයට හදුන් කූරු දල්වා ඇති අයුරු දැකගත හැකි විය. කෙට්ටු සිරුරක් හා වයසක මුහුණක් ඇති මෙතුමාට ගරු කරන්නේ  දෙවියෙකුට සේය. බොහෝ වයසක මිනිසුන් හෝචිමිං තුමා මෙන් රැවුල වවයි.

මුදල් ගෙවන කවුන්ටරයට ආසන්නයේ බිම කුඩා පෙට්ටියක මේ බඩ තඩි දෙයියා මම මුල් වරට දැක්කෙමි. තඩි බඩ හා මුහුණේ ඇති සිනහව මගේ මුවගටත් නිතැතින්ම සිනහවක් ගෙන ආවේය. එයට ඉදිරියෙන් පළතුරු කිහිප වර්ගයක්  හා අරක්කු දැමූ කුඩා විදුරුවකි. දැල්වී අවසන් වූ සිගරුට්ටුවක් පළතුරු වට්ටියේය, හදුන්කූරු කිහිපයක් තවත් දැල්වෙමින් තිබිණ.කඩේ මුදලාලිට අනුව මේ පොළවට අදිපති දෙවියෙකි. 

මුදලාලිගෙන් සමුගත් අපි නගරයේ වූ උද්‍යානය වෙත ආවෙමු. දකුණු වියට්නාමයේ විශාලම නගරයක් වුවත් කාර්,වෑන් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. සියළුම දෙනාගේ වාහනය මෝටර් බයිසිකලයයි.(ක්ලච් නැති හා ස්කුටර් ආකාරය)බොහෝ පාසල් සිසුන් හා සිසුවියන් ගමන් කරන්නේ බයිසිකල් වලිනි.



(Ben Tre – Park,  google street view )

ඉහත රුපයේ දැක්වෙන්නේ බෙන් ටෙයා උද්‍යානයේ ඇති ප්‍රතිමා කිහිපයකි. ඇමරිකාව හා කළ සටනේදී කාන්තාවන්ද යුද පෙරමුණට ගොස් ඇති අතර සටන් පෙරමුණට ගිය කාන්තාවන්ට උපහාරයක් ලෙස මේ පිළිරුව ගොඩ නගා ඇති බව දැනගන්නට ලැබුණි. කන්තා පිලිරුවට පිටුපසින් ඇති පොල් අත්ත නිරුපණය කරන්නේ ඔවුන් යුද්දයේදී විදි දුක් ගැහැටයි. එය කැඩී ගිය පොල් කොළ වලින් පෙන්නුම් කරන බැව් මගේ මිතුරා පවසයි.
බොහෝ වියට්නාම් මිනිසුන් ඉතා මිත්‍රශීලී හා කරුණාවන්තය. ලංකාවේ මෙන් නිලදරිවාදයෙන් හිස උදුම්මා ගත් මිනිසුන් නොදුටු වෙමි. කාන්තාවන් පිරිමින් හා සමසමව රැකියා හා ව්‍යාපාර වල යෙදෙයි.බොහෝ පිරිමින් මත්පැන් කෙරෙහි දැඩි ගිජු කමක් දක්වන අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ කාන්තාවන් පෙරට ඒමට මෙම දුර්වල තාවය හේතුවුවා විය හැකිය.



Monday, 18 July 2016

උවමනාකර තිබේ....



පැහැපත් සිහින්සිරුරක් (පිට ලෑලි සලකා බලනු නොලැබේ) ඒවගේම සික්ස් පැක් ඌරු පිටක් ඇති අයද අදාළ නැත.කොට මොඩල්ද සලකා නොබලන බැව් කරුණාවෙන් සලකන්න. හැමදාම බෝඩිමේ කෑම කෑමට අපහසු බැවින් රසට කෑම සැදීමට හැකි විය යුතු අතර නිවසක් හිමිනම් වඩාත් සුදුසුය. කේන්දර අනවශ්‍යයි, වෙද වාර්තාවක් අවශ්‍යයි.(පාරම්පරික ලෙඩ රෝග ඇති අය නුසුදුස්සන් සේ සලකමි) ආගම පස්නයක් නැත, ප්‍රශ්නයක් වන්නේ රටේ ඇති සියළුම ගස් ගල් හා පල්ලි,කෝවිල් හෝ දේවල ගානේ යන ගතානුගතික ජීවියෙක් වීමයි. වැද්දියක් සේ  දනිස්සට දිග කොණ්ඩයක් නොතිබුණාට ගැටළුවක් නැත.

මෙන්න මෙහෙම දැන්වීමක් ප්‍රචාරය කරාලු (සාක්කි නැත) වසර 29 -32 දක්වා, පව් නේ, දැන් ඔහොම තරගය ඉදිරියට යනකොට අනවශ්‍ය පන්දු මගහැරීමට අවශ්‍ය වන විට ගහන ආරක්ෂාකාරී පහර “ කලිසං අදිනවද”(ගම්වල ගැල්ලමයි ගොඩදෙනෙක් කලිසන් අදින්නේ නෑ.....කලිසන් අදිනවා කිව්වොත් “මුහුදේ පිනන්ඩ දන්නවද” උත්තරේ නෑ.ඒ කතන්දරේ එතැනින් ඉවරයි.

ඔන්න ඔහොම කාලය ගතවුනාලු. එකමත් එක දවසක එකමත් එක පරීක්ෂණාගාරයකට කෝල් එකක් ආවලු.
“අපිට **** කෙමිකල් එක  0.004 ග්‍රෑම් වලට කිරා ගන්ඩ පුළුවන්ද? තුන්දෙනෙක්ගෙ වැඩ තනියම කරලා තව පිට වැඩත් කරපංකෝ කියල පිපිච්ච මල අතේ තියාගෙන අනික් පැත්තෙන් උත්තරේ දුන්නලු මෙහෙම.

“මේ ගානට කිරන්ඩ තරාදියක් තියෙනවා, කිරන හැටි කියල දෙන්ඩත් පුළුවන් තේරෙන කෙනෙකුට කෙමිකල් බෝතලෙත් අරං එන්ඩ කියන්ඩ”
ටික වෙලාවකින් “ඇස්කූස් මි” කියාගෙන කළු කොට තාර පිප්පයක් වගේ ගැල්ලමයෙක්.......පිච්චු නම් කෙලින්ඩ එපා...... සින්ඩරෙල්ල වගේ ලස්සන , සුන්දර,අවිහිංසක,ගුණයහපත්, කාරුණික ළදක් පරීක්ෂණාගාරයේ දොරෙන් ඇතුලට ආවලු......
ට්‍රේනින් කරන්ඩ කළින් ඉන්ටවිව් කරලා ඉන්ඩ එපැයි, ඉතිං එහෙම කරාලු. පරික්ෂනාගාරයේ ටයිල් කැට දිහා බලාගෙන, ටයිල් කැට කකුළෙන් හාර හාර  සාන්ත දාන්තව උත්තර දුන්නලු. ඉන්ටව් එක ඉහළින්ම පාස් උනාලු.
කොහොමින් කොහොම හරි කෙමිකල් කිරන වැඩෙනුත් බාගයක්ම ඉන්ටව් කරපු කෙනා කරලා දුන්නයි කියන්නේ...
දැන් ක්‍රීඩකයා උඩ පන්දුව දෙසම නෙත් නොහෙලා කට ඇරන් බලන් ඉන්නවලු. ඔහොම ටික දවසක් ගියාලු. දවසක් උදේ වරුවේ තේබොන වෙලාවට වගේ අර ගැල්ලමයයි තව කෙනෙකුයි පරික්ෂනාගාරයට ආවලු කාටද අසනීපයි කියල බලන්ඩ, නිකම්මත් නෙවෙයි බිස්කට් පැකට් එකකුත් අරං.
“ලෙඩෙක් නැතුව ලෙඩ බලන්ඩ ඇවිත්” මෙතන පැහැදිළිවම කවුරු හරි  ලණුවක් දී ඇති ආකාරයකි. ඒ අස්සේ බිස්කට් පැකට් එක තිබුණු කවරෙ ඇතුළේ සෙනෙහෙ කොළයකි.
“අයියේ අපි දෙදෙනාට දුර ගමනක් යාමට හැකිවෙතැයි මට සිතේ” ඔහොමත් වාක්කියක් ලියල තිබුනලු..
එකපාරටම මේක කරපු එකා මීටර් නොවුණේ එකට වැඩ කරපු උන්ගේ අත් අකුරු නොවන නිසාය, ඒත් පැය කිහිපයකින් බඩු මාට්ටුය.
“මම උදව්වක්නේ කරන්ඩ හැදුවේ” හක්ක පන්නන්ඩ හදන කොට මේකා කියන්නේ එසේය. කෙසේ වෙතත් පිළිබද සිතක් ඇතිවීමට මේ නාඩගම්ද හේතු බුත උනාලු...පසුව මේ පාප මිත්‍රතෙමේ මාගේ චපෝටරයා (චර පුරුෂයා හා සපෝටර් ) බවටත් පත්විය.
පරීක්ෂණාගාරයට පැවරී තිබුණු (බොහෝ වෙලාවට ඇණයක් වන) අවසන් නිපැයුම් පරික්ෂාව තනිකරම පවරාගෙන සියළුම  කුණු ගොඩවල් කරට ගත්තේ ප්‍රියම්බිකාව දැක ගැනීමේ හැකියාව ඇති බැවිණි.....
සියල්ල හොදින් පතාගෙන ආ විදියට සිදුවිය. හොස්ස ළගින් මැස්සෙක් ගියත් මල පනින ගෙම්බෙකුට  දෙවෙනි මවක් වැනි සුන්දර ලලනාවක් ආදර බර බිරිදක් ලැබීම කොපමණ වාසනාවක්ද...





Monday, 4 July 2016

මනුස්සකම....



මුලින්ම මගේ කෙටි කථාවක් (සා.සේ.240139 ) නෙළුම්යාය බ්ලොග් සින්ඩියේ පළකළ අජිත් මහතාට මගේ ගෞරව පුර්වක ස්තූතිය පුදකර සිටිනවා. ලස්සන පින්තුරයකුත් දාල.මෙන්න දැක්කේ නැත්නම් බලලා එන්ඩ...



මනුස්සකම
“අප්පා සුරුක වාංග මෙන්න ආමි කෙනෙක් වැටිලා ඉන්නවා”
“අම්මා ඉන්ගේ වාංග”
“ආඩවනේ අයියයියෝ මුරුගා හෙම තැනම ලේ අප්පා”
“අප්පා, ඉන්ගේ පාරුංග”
“මට වතුර ටිකක්”
කෝමද මෙහාට ආව, යේක යපිට සද්දේ ඔක්කම ඇහුණා, දැන් කොල්ලෝ මෙහෙට ආවොත් අපිත් සෙත්ත පෝච්චි තමයි කරනවා.”

“මාව බේරගන්ඩ උන් දැක්කොත් මාව මරයි, අනේ මාව බේර ගන්ඩ”
“අම්මා අපි මොක්කද කරනවා, දැන් සංවිදානෙන් ආවොත් මේ මනුස්සයා මරල දායි”
“අම්මා අපි මෙයාව හරක් මඩුවෙන් තියමු. සංවිදානෙන් ආවත් ගේ විතරනේ බලන්නේ”
“අනේ මාව බේරගන්ඩ”
“අම්මා අර බලන්ඩකෝ කකුලෙන් හොදටම ලේ එනවා”
දුවට පිස්සුද කොල්ලෝ දැනගත්තොත් අපි ඔක්කොම ඉවර කරලා දායි” !
“ඔන්න බල්ලෝ බුරන සද්දයක් ඇහෙනවා කවුරු හරි මේ පැත්තට එනවා වගේ”
“ඉක්මනට කරන දෙයක් කරමු”
“අප්පා මෙයට මඩුවට යන්ඩ උදව් කරන්ඩ”

මද වෙලාවකට පසු.....

“ටීචර් ටීචර් පොඩ්ඩකට දොර අරින්ඩ”
“කවුද මේ රැවෙලා”
“අපිමේ සන්විදානේන්, ආමි කාරයෙක් හරි දෙන්නෙක් හරි මේ පැත්තට ආවද”
“අපි කොහොම දකින්නද මේ ළමයි හය වෙනකොට දොරවල් ඔක්කොම වහගන්නවා.”
“අපි හැමතැනම බැලුව මුන් කොහෙහරි ඇති, ටීචර් හොදට දොරවල් වහගෙන ඉන්ඩ කවුරු කථාකරත් දොරවල් අරින්ඩ එපා, අප්පා කෝ?
 කියන්ඩ මුන් හරි බයානකයි, මතක ඇතිනේ ගියමාසේ අල්ලපු ගමේ මිනිස්සු කපල මරල තිබුණ.”
“මම කෝම අමතක කරන්ඩද නෙවි එකෙන් කරා කියල තමයි මිනිස්සු කථා උනේ”
“අපිටත් ආරන්චිඋනේ එහෙම තමයි, ඒත් හරියටම කියන්ඩ බැ, නෙවි එකේ වගේම රැවුල් වවපු උන් ආමි එකෙත් ඉන්නවා...”
“සෙල්වා ගෙදර ආවේ නැද්ද ටීචර්, තවම කොළඹද ඉන්නේ?”
“තවම වීසා ඇවිත් නැ වෙල්ලවත්තේ ඉන්නේ”
“අපි යනව අම්මා දොරවල් හොදට වහගන්ඩ මුන් මේ ළගම ඇති, වෙපන් 12ක් හම්බුනා බොඩ්ස් 10යයි තියෙන්නේ වැඩි දුරක් යන්ඩ බැ හොදටම තුවාලවෙලා ඇත්තේ”
ආඩවනේ කමලිනි දැන් අරුන් හරක් මඩුව පැත්තේ බැලුවොත් අපි ඉවරයි.”
“අප්පා  බොරුවට කැගහන්ඩ එපා හරක් මඩුව වහල තියෙන එකක්යැ ඕන යකෙකුට ඕකට රිංග ගන්ඩ පුළුවන්නේ,අප්පා කලබල නොවී ඉන්ඩ”

ඒත් කොල්ලෝ අපිව සැක කරයි, උන්ට සැක හිතුණොත් දන්නවනේ කරනදේ!! අපිව පාරට ගිනිහින් බල්ලෝ වගේ මරල දායි !! ඔව් බල්ලෝ වගේ මහපාරෙ මරල දායි!! උදේට පාරේ යන වුන් අපේ මිනි වලට කෙල ගහයි, තමන්ගේ ජාතිය පාවල දුන්නු අවජාතකයෝ කියල, උබලට තේරෙන්නේ නැද්ද!!!”
“අප්පා කෑගහන්ඩ එපා  උන්ට ඇහෙයි , අම්මා අපි  ගිහිං බලමු, ඒ මනුස්සයාගේ කකුළකින් ලේ ගොඩක් යනවා”
“පිස්සුද පුතේ ඔයාට අරුන් ආයෙත් ආවොත්”
“අනේ අම්මා ඒ අයියා දවසක් අපිව බේරා ගත්තා, යමු අනේ අම්මා”
මොනවා ඒ පාර මොන නාඩගමක් නැටුවද”
“නාඩගම් නැටුවේ නැ අම්මා අර සිත්තියි මමයි දවසක් තරගෙට බයිසිකල් පැදගෙන ආවා”
-          - -         -           -           -           -           -           -
උතුරේ ප්‍රධාන පාරක මාර්ග භාදකයක සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබළ පිරිසක්.....
“අපි හැමදාම රෝඩ් බ්ලොක් වල ඩියුටි සාජන් ඌට ඕනේ අයව ලේසි වැඩ තියෙන තැන් වලට දාගන්නවා”
“ගණන් ගන්ඩ එපා ගාමිණී අයියේ ඉක්මණට ඩ්‍රිල් ටික ප්‍රැක්ටිස් කරලා අපිත් පටියක් ගහගමු. එතකොට එක එකා අපේ ඔළුවට අත හොදන්ඩ එන්නේ නෑ”
“ඔන්න වුමන්කෝ ට්‍රක් එකක් එනවා, අනිවා ඕකේ තරුවක් ගහගත්තු ගෑණියෙක් ඇති දැන් ගහපන්කෝ ගෑනුන්ටත් සැලියුට්”
“ඔන්න සාජන් කාරයත් එනවා මේ පැත්තට ඇටෙන්සන් වෙයන්”
“ගුඩ් මෝනිං සායන්”
“ගුඩ් මෝනිං, ප්‍රශ්න මුකුත් තියෙනවද?
“නෑ සායන්”
“ඒයි විජේ ආන් අදත් අර කෙල්ලෝ දෙන්නා බයිසිකල් වලින් මේ පැත්තට එනවා”
“ගාමිණී අයියේ මුන් දෙන්නා අදත් රේස් පදිනවා වගේ බලපන්කො එන වේගේ”
 “කෝපල් බලපන් අරුන් එන වේගේ බ්ලාස්ට් කරගන්ඩ එනවද දන්නෑ”
“ඒ හැමදාම එන කෙල්ලෝ දෙන්නෙක් පාඩම් කරන්ඩ ලයිබ්රියට යනවා”
“ එකට කමක් නෑ නවත්වල වුමන් කෝ එකේ කෝපල්ට කියපන්  චෙක් කරන්ඩ කියල”
“හොදයි  සායන්”
“හෝල්ට්!!”
“කොහෙද හයියෙන් යන්නේ? රෝඩ් බ්ලොක් එක අමතක වුනාද?”
“අපිට සමාවෙන්ඩ තරගෙට පැදගෙන ආව,බයිසිකලේ බ්‍රේක් අඩුයි, අපි පාඩම් කරන්ඩ යන ගමන්”
“ඕව ගිහිං කියන්ඩ අතන ඉන්න වුමන්කෝ කෝපල්ට”
“අනේ අපිට උදවු කරන්ඩ අයියේ ඔයා අපිව දන්නවනේ”
“යන්කො මමත් එන්නම්”
“කෝපල් ප්‍රියංගිකා මේ ළමයි දෙන්නව චෙක් කරන්ඩ කියල සායන් කිව්වා”
“අක්කේ මේ දෙන්නා කැම්පස් ළමයි දෙන්නෙක් හැමදාම මෙතනින් යනවා”
“විජේ මල්ලි යන්ඩ සායන් සිල්වගෙ හැටි දන්නවනේ”
-          -           -           -           -           -           -           -                      
“එදා මේ අයියා තමයි අපිව බේරලා යැව්වේ අනේ අම්මේ එයා පව් අපි ගිහිං බලමු”
“යන් පුතේ කාගේ උනත් දරුවෙක්නේ ඉන්ඩ මම බැන්ඩේජ් එකක් තිබුණා අරං එන්නම්.”
----------      ---------             ---------

ගුරුවරියක් ලෙස පාසැල් දරු දැරියන්ට පමණක් නොව නිළ ඇදුම් ඇගලා සිටියවුන්ටත්,සයනයිඩ් කරල බෙල්ලේ ගැට ගසාගෙන සිහිනයක් වෙනුවෙන් සටන් කළ ඔවුන්ටත් ඔබ දෙවෙනි මවක් විය. ඔබගේ ඒ නිහඩ මනුස්සකමේ පනිවිඩය, ආදර්ශය සමාජ ගතවුවා නම් කිසිදින යුද්දයක් ඇති නොවනු ඇත.
ජාතිකත්වය,ආගම උලුප්පා මේ කුඩා දිවයිනේ මිනිසුන් බේද බින්න කරන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අහිංසක මිනිසුන් බිළිදෙන ගෝත්‍රික නායකයින් සුළුතරයක් නොවේද? දකුණේ පමණක් නොව උතුරේද සිටින්නේ අපගේ සහෝදර ජනතාවක් නොවේද?..........

(මේ සත්‍යය සිදුවීම ගැන විස්තර කියපු සොයුරාට මගේ ස්තුතිය, ඔබගේ මෑණියන්ට(සුදු ටීචර්ට) නිදුක් නිරෝගී සුව පතමි.)