Friday, 26 August 2016

පංසලේ දානේ හා මළගෙවල් වල සොදුරු මතක වියට්නාම් 02


හෙට පංසලේ දානයක්ලු යමුද? වසර ගණනාවක් අත්දැකිම් ඇති නඩේ ගුරා අහන්නේ අපෙන්ය.
හරි යමු කීයටද යන්නේ? ලොක්කාගෙන් ගැටළු ඇති නොවන ආකාරයට කාලය කළමනා කරගත යුතුය.
“එකොළහ හමාරටවත් යන්ඩ ඕනෙ” ඒ ගුරාය.
“ඒ වෙලාවට ලොක්ක ඔෆිස් එකේ ඉන්නවා, කෝල් එකක් එහෙම දුන්නොත්,දොළහ පහුවෙලා යමන්”
අපේ ලොක්කාද සුපිරි පොරකි. පරික්ෂනාගාරයට ඇමතුමක් ගන්නා ඔහු දුරකතනයට මුලින්ම අමතන්නාගෙන් අහන්නේ අනිකා ඉන්නවාද කියලාය. එතකොට දෙන්නාගේම පැමිණීම සටහන් වෙනවාය, ගහට ගිය මිනිහාට කියන්න කරුණු තිබුණාසේ අපිටද කියන්න ඕනේ තරම් කරුණු ඇත.
හොදම  හේතුව සල්ෆර් ප්‍රතිශතය බැලීමට සාම්පල් ගෙනඒමට ගියා කීමය, නැත්නම් “ප්‍රඩක්ෂන් ලයින් එක බලන්ඩ ගියා කීමත් ලකුණු ලැබෙන හා ඔහු බලාපොරොත්තුවන පිළිතුරුය.
“හා එහෙනං දොළහට යන්” මම ගමන ඉස්තිර කළෙමි.
මේ දෙදහස් පහ වසරේ අගභාගයේ සිදුවුවකි. එවක අප ලාංකිකයන් කිහිප දෙනෙක්  දකුණු වියට්නාමයේ කර්මාන්තශාලාවක සේවය කළෙමු. එවක බොහෝ දෙනෙක් එදිනෙදා කටයුතු සදහා භාවිතා කලේ යතුරු පැදියි.හිස් ආවරණ පැළදීම අනිවාර්ය කර තිබුණේ නගරයෙන් පිටත කැලෑ පාරවල් වලට පමණි.මේ නිතිය වසර කිහිපයකින් වෙනස්වූ අතර පසුව  සෑම විටම හෙල්මටයක් පැලදීම අනිවාර්ය විය. ප්‍රධාන නගරයක් ආසන්නයේ සිටියත් කාරයක් දක්නට ලැබුණේ කලාතුරකිනි. වැන් වලින් දුර ගමන් හා විනෝද ගමන් යනු දක්නට ලැබුණු අතර අග නගරයේ සිට ක්‍රියාත්මකවූ කුඩා බස් රථ සේවාවක් දක්නට ලැබුණි. භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ද මේ බස් රථ වලින්ම සිදුකෙරුණි.
   “ටිකක් කළින් වරෙන් උබට නාගන්ඩත් ඕනේ නේද? ඒ ගුරාය.
“හරි මම ටිකක් කළින් එන්නං උබ සිරාට ලැහැස්තිවෙලා ඉන්ඩ කියහන්කෝ”
 මම කිවේ සිරිදාසයා (මේ ඇත්ත නම නොවේ) සමග  ගමන් යැම ගැන සියළුම දෙනා දන්නා නිසාය. මුළින්ම කාමරයට එන්නෙත් සිරාය ඒත් ගමනක් යනවිට ලැහැස්තිවී අන්තිමටම ගෙයින් එළියට එන්නේත් ඔහුය. ඒ අපි කිහිප දෙනෙකුගේ කෑගැසීම් මධ්‍යයේය.
දැන් සියළුදෙනාම ලැහැස්තිවී මිදුලේ සිට  සිරාට බැන බැන සිටින අවස්ථාවයි.
“ දැන් දානෙට මොනවාද අපි ගෙනියන්නේ” මා ඇසුවේ සිරා පාරට එනතෙක්  හැමෝගෙන්ම මුදල් එකතුකර ඒ වැඩෙත් ඉවර කල හැකි බැවිණි.
“ පිස්සුද බං මෙහෙ එහෙම මුකුත් අරං යන්ඩ ඕනේ නැ” ඒ ගුරාය.
“යකෝ එතකොට පංසලේ දානේ කාල එන්ඩද යන්නේ” පන්සල් වලට දානදෙනවා හැරෙන්ඩ පන්සල් වලින් දානේ කානැති මට මේවා මැජික්ය.

පංසල ආසන්න වෙත්ම එහි ප්‍රධාන ගේට්ටුව විවුර්තකර ඇති බව දක්නට ලැබුණි. නොයෙක් වර්ණයෙන් යුත් කොඩිවලින් සැමතැනම සරසා තිබුණි. අළු පැහැයට හුරු කිමෝනාවක් වැනි ඇදුමක් හැද සිටි ලොකු හාමුදුරුවන් අප වෙත පැමිණ කථා කළහ. ටික වෙලාවකින් අපි බැංකු වල ඉදගෙන මේසයේ පිගන් වලට බෙදාදුන් දානය කෑවෙමු. ඌරු කටක් ඇති මටනම් එය රසවත් කෑම වේලක් විය. එහෙත් මොන දෙස දිපන්කරේක ගියත් මිරිස් තුනපහ රස හොයන දූපත් මනසිකයන් නම් “හයියෝ කිසි රහක් නෑ” පුරුදු ගීතය ගැයුවේය.

පිළිමගෙයි තිබු බොහෝ පිළිම අපිට ආගන්තුක ඒවා විය. පංසල ඉදිරිපිට ඇති විශාල සුදු පැහැ පිළිම මතු බුදුවන බෝසත් රූපය. ඒවා අසල ඇති සිංහ ප්‍රතිමාව වෙත යන කාන්තාවෝ එම පිළිමය අතගා තම දෑත හා දෙපා එම අතින්ම පිරිමදින්නේ නිරෝගී බව හා ශක්ති සම්පන්න ජිවිතයක් ලැබේවායි පතමිනි. මොවුන් ගේ වන්දනාව සදිසා නමස්කාරය සිහිකරවයි. හදුන්කූරු කිහිපයක් පත්තුකර ගාථා කියමින් සෑම දිශාවකටම හැරී වන්දනා කරනු දුටුවෙමි.
ලංකාවේ පන්සල් වල ඇති කිසියම්ම දෙයක් මෙහි තිබේදැයි හාත්පස බැලූවිට දුටුවේ සිදුහත් බෝසතාණන් ගිහිගෙය හැරගොස් කඩුවකින් තම කෙස් වැටිය කපන ආකාරය දැක්වෙන බිතු සිතුවමකි. කන්ථක අසු හා චන්න ඇමතියාද බෝ ගසක්ද චිත්‍රයේ විය.
 එතෙක් වෙලා මගේ ටිකිරි මොළයට වදදුන් ප්‍රශ්ණය දැන් අසා දැනගත හැක. ලොකු හාමුදුරුවෝ අසළින් යනවිටම “සිල්ලෝයි”(සමාවන්න) කියා දැවෙන ප්‍රශ්නය විචාළෙමි.
“මේ බෝ ගසක් පංසලේ නැද්ද” බෝ ගසේ චිත්‍රය පෙන්වා ඉංගිරිස් නාම් අච්චාරු භාශාවෙන් ඇසුවෙමි.
“බෝධිය තිබෙන්නේ ඉන්දියාවේ” ඔහුගේ පිළිතුර විය.
(By google street view)
මළ ගෙදර විත්ති
අප කර්මාන්තශාලාවේ වැඩ පරීක්ෂකවරයෙකුගේ සීයා මැරිලාය. සවස තුනට පමණ අප මල ගෙදර යෑමට සැරසුනෙමු.සියළුදෙනාම අත්දිග කමිස හැ පොලිශ්කල කළු සපත්තුදා හැඩවී සිටියේ මගුල් ගෙදරකට යන්නට මෙනි.ඒ මා සහබාගිවූ ප්‍රථම මළගෙදරයි. ප්‍රධාන පාරේ සිට අතුරු පාරවල් කිහිපයකම කිලෝමීටර තිහක පමණ දුරක් ගමන්කළේ අඩි දෙක හමාරක් තුනක් පමණ කුඩා කොන්ක්‍රීට් යෙදූ අතුරු පාරවල් වලය. කුඩා ඒදඩු වැනි පාලම් වලින් එගොඩ උනේ බයේ ගැහෙමිනි.එවැනි පාලම් වල දෙපස ඇඳි නොතිබුණු අතර හදිසියේ ලිස්සා ගියහොත් කකුලක් තැබීමටවත් ඉඩක් නොතිබිණ.ගූගල් දෙයියා දුන්න පාළමට වඩා පළලින් අඩු බොහෝ පාලම් ඇත.
එක වරම ඇසුණු බෙර හඩකින් අපේ ගුරා කිව්වේ මළගේ ළග බවයි. ඒ අතර “බයික් පදින උන් වැඩිය බොන්ඩ එපා, දැක්කනේ පාරේ හැටි” යැයි සත්තමක්ද දැම්මේය..
“මාරයිනේ මළගෙවල් වල බොන්ඩත් දෙනවාද” පුදුමයට පත් මම ඇසුවෙමි.
 ගැනීමට පහසු තැනකින් යතුරු පැදි නැවැත්වූ අපි නිවසට ගියෙමු. අප පිළිගත් වැඩ පරීක්ෂකවරයා ටොපි හා කොළ තේ(ග්‍රීන් ටි) පිලිගන්වුවේය. පසුව අප මිනියට වැඳිමට අතුල්ගෙට ගියෙමු. වසා ඇති මිනීපෙට්ටියේ මුහුණ පමණක් පෙනෙන සේ වීදුරුවක් යොදා තිබුණි. බෙර වාදකයන් හා නලා කාරයන්ගේ තාලයට අනුව පත්තුකරන ලද හදුන්කූරු දෑතින්ම අල්ලා වඳිමින් පහත් වෙමින් දන ගහමින් විනාඩි කිහිපයක් මේ ආචාර කිරීම සිදුවිය. පසුව මිදුලේ තිබූ මේස වටා අප සියළුදෙනාම හි ගත්තෙමු. 
ඒ අතර අප වෙත පැමිණි කම්හලේ මිතුරා මියගිය තැනැත්තා ගැන විස්තර කියමින් හරිම කණගාටුයි “බෝන්වා” කිවේය. අයෙක් “පූලේ” බෝතලයක් හා කුඩා වීදුරුවක් (මිලිලීටර 50 – 75) ගෙන එය පුරවා වැඩපරික්ෂක වෙත දුන් අතර ඔහු තරමක් බි ළගින් සිටි කෙනාට දෙයි. මේ ආකාරයට වීදුරුව මේසය වටා යයි. වීදුරුව හිස්වූ සැණින් එය පුරවන්නේ අපේ කම්හලේ මිත්‍රයාය. එකම වීදුරුවෙන් බීමත් කලවමකට අයිස් වතුරවත් නැතුව අමුවෙන්ම පානය කිරීමත් නිසා ඒ බිම දෙවෙනි වටයෙන්ම  මට එපා විය. ඒකටත් හරියන්නට පසුව ගෙනා බත්, බිම්මල් පොහොට්ටු හා කුඩා කොළ වර්ග යොදා සකස්කළ සුප් බඳුනෙන්  වැඩි හරියට වගකිවෙමි.

මළගෙදරින් පිටත්වී ආපසු එන ගමනේදී යනවිට තිබුණු පාරේ  නුහුරු ගතිය වළවල්, ඒදඩු කිසිවක් තිබුණා දැයි මතකයක් නොවුයේ සැන්ඩි කිසිවක් නැතුව සරිරගතවූ ඇල්කොහොල් නිසා විය යුතුය...

32 comments:

  1. හිකිස්........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද ...

      Delete
  2. අන්න බං මළගෙවල්.. :D

    ReplyDelete
  3. මෙහෙත් දැං ටික ටික ඔහොම වේගන එන්නේ

    ReplyDelete
    Replies
    1. අප්ඩේට් වෙනවා වෙන්ඩ ඇති...

      Delete
  4. අපොයි නොබී මළගෙදරක ගියොත් සමහර අයගේ දුක හරියට පිකප් වෙන්නේ නෑ.

    ReplyDelete
  5. සමහර පැති වල බොන්ඩ දුන්නෙ නැත්තං නයිට් ගහන්න බල්ලෙක්කත් නෑ.. බීපු එවෞන් ඈත අඳුරකට වෙලා කෑ කොස්සන් ගහනවා මිසක මළගෙදර උදව්වකට වත් හොයාගන්න නෑ.. විකාර සීන් වෙලා තියෙන්නෙ.මඟුලකට වඩා වියදම් දැන් මරණෙකට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කාලෝ අයන්තේ මචං ....

      Delete
  6. Replies
    1. ස්තූතියි ඉයන් ...

      Delete
  7. "බෝධිය ඉන්දියාවේ"...ඒක තමයි නියම උත්තරේ...

    ReplyDelete
    Replies
    1. වියට්නාමයේ ගොඩක් පන්සල් වල බෝධි නෑ ...

      Delete
  8. 'බෝධිය ඉන්දියාවෙ' හැක්.. ඒකත් නියමයි. ඒකට ලංකාවෙ හැම හංදියක් ගානෙම.

    මිනිය නැත්තං දැං මල ගෙවලුත් මගුල් ගෙවල් වගේ තමයි.

    ReplyDelete
  9. බෝධිය තියෙන්නේ ඉංදියාවේ.. අපේ හු##නල නං හිතං ඉන්නේ ලෝකේ තියෙන හැම බෝ ගහකටම බුදු හාංදුරුවෝ පිට දීල කියල.. හැක්.

    ReplyDelete
  10. අපූරු මතක ටික බං.

    ReplyDelete
    Replies
    1. තැන්කූ හැලප අයියේ..

      Delete
  11. මෙහෙත් හෙම තමා. මමත් ලොකුවුනාම වියට්නාම් යනවා.

    ReplyDelete
  12. මෙහෙත් හෙම තමා. මමත් ලොකුවුනාම වියට්නාම් යනවා.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් දෙපාරක් වියට්නාම් ගිහිල්ල මළා.

      Delete
  13. චින්චාවූ..... ආයුබෝවන් අන් යු එම් .. මම ඔයාට ආදරෙයි.... ඩෙප් ...ලස්සනයි. බන් ... යාළුවා ඩි අන්කම් .... බත් කන්න යමු ටම් බියට් ....සමු ගැනීමේදී මට තාම වියට් භාෂාව ටිකක් මතකයි

    ReplyDelete
  14. දූපත් මානසිකයන් හික් හික් හුග කාලෙකින් ආවේ. ජය වේවා.

    ReplyDelete
  15. මට අවුරුදු ගණනාවක් තිස්සේ උවමනාවක් තියනවා වියට්නාමයේ බැක්පැකින් පාරක් දාල හොඳට ඇවිදල රට තොට බලන්න ... :)

    දවසක ඒ ආසාව ඉටු වෙයි කියල හිතනවා !

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඩොලර් එකක් වියට්නාම් ඩොන් 34000, අඩු වියදමකින් හොද ෆන් එකක් ගන්න පුළුවන්. හෝචිමිං නගරයෙන් පිට ඉන්නවා නම් වියදම තවත් අඩුයි..යනකොට මටත් කියන්න, හැකි අයුරින් උදව්වක් කරන්නම්..

      Delete
    2. බොහොම ස්තුතියි ලලිත් !

      Delete

හිතෙන දෙයක් කොටලයන්න