Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Thursday, 13 April 2017

New Year in Nayinamadama (අතීත ආවර්ජනා)



ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමටම සුබම සුබ නව වසරක් වේවායි කියා මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. බොග්ගල හොරු ගෙනිහින්ද කියලවත් හොයන්ඩ වෙලාවක් තිබුණේ නැ හිටං!
 දැනුත් මේ බුකියෙ ( මම කිව්වේ පේස් බුකියෙ)  දැකපු කමෙන්ට් එකක් බලද්දී මේක ලියන්ඩ හිතුනෙ පරණ මතකයක් අළුත් උන හින්දා.
සකල සිරිලංකා වාසින්ටම සුබ පැතුවට අළුත් අවුරුද්ද සමරන්නේ බවුද්දයෝ හා හින්දු ආගමිකයන් විතරයි.
එදත් සිංහල අළුත් අවුරුදු දවසක්,
වෙලාව උදේ 10 10.30 ට ඇති.
අඟලෝ මොකද බං අපේ තාප්පේ උඩ නැගලා කරන්නේ , තෝ වැටිච්ච පොල් අහුලන්ඩ කුරුමානම් අල්ලනවා නේද බොල"
මම ඈත ඉදන්ම කෑගහන්නේ කම්මැලි කමට, ඌ කවදාවත්ම පොල්ගෙඩියක් හොරෙන් ගත්තේ නෑ, ඒකට උගේ බාප්පා, මහා හොරා. 
"තාප්පේ අයිති හැචරියට" කොට ජීවියෙක් උනත් මුගේ කට හෙන සැරයි.

“අඩෝ අද හැචරියයි වත්තයි දෙකම අයිති මට” බොසා සතියකට කළින් කොළඹ ගියා, පිළිපින් ජෝඩුවත් උදේම මීගමුවේ යාලුවෙක්ගෙ ගෙදර ගිහිං, සෙකුරිටි අයිය උදේම ඇවිත් වටයක් කැරකිලා ගියා.
දැන් මන් තුමානේ මෙතන  පොර...
දැන් අඟල ගැන පොඩි විස්තරයක් කියල ඉමුකො හිටං.

 තාත්ත නැති උනාට පස්සේ මුන්ගේ අම්ම (එයත් කොට ජීවියෙක්) කොල්ලත් එක්ක ජිවත් උනේ අපේ ඉස්සෝ හැචරියට එහා පැත්තේ ඉඩමේ.වැඩකලේ පොල් කොහු වලින් බුරුසු හදන පැක්ටරියක.අපේ ඉස්සෝ හැචරිය තිබුණ ඉඩමට එහා පැත්තේ ඉඩමේ  පදිංචි වෙලා හිටියෙ එදාවේල හොයාගන්ඩ කුලීයක් මලියක් කරන මිනිස්සු.ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල  වහලෙට විතරක් නෙවෙයි බිත්තිත් හදල තිබුනේ පොල් අතු බැඳල, ඒත් සමහර සල්ලිකාරයන්ගේ ගෙවල් වල නැති සතුට,සමාදානය, අන්‍යොනය බැදීම ඒ පැල්පත් වල තිබුණා. පොල් අතු හෙවිල්ලුවට ඒ ගෙවල් සමහර සල්ලිකාරයන්ගේ ගෙවල් වලට වඩා පිරිසිදුයි.
   
"බැහැපන් තාප්පෙන් පහළට, යකෝ  තොගෙ #කේ බෝතල් කටු ඇනෙයි" මම මුව අවුස්සන්ඩම කෑගහනවා.
 තාප්පෙ උඩ පැත්තේ බෝතල් කටු ගහල තිබුණේ, තාප්පෙට අතතියල නගින්ඩ බැරිවෙන්ඩ.
“මෙතන බෝතල් කටු නෑ මම ඔක්කොම කඩල දැම්මා”
“අඩෝ උබ රෑට වත්තට පනින්ඩ විදුරු කටු ටික කැඩුවා නේද”
“නෑ නෑ අයියෙ මෙතනට නැගල ඉදගත්තම එක පැත්තකින් වැල්ලට බෝට්ටු එනවද කියල බැලියහැකි, අනික් පැත්තෙන් රවුම් පාර පේනවා”
රවුම් පාර කියල කිව්වේ ඒ දවස් වල තාර දාපු නැති ප්‍රදාන පාරෙ ඉදල වැල්ලට එන්ඩ තිබුණ පාර.

බොරු නොකිය වරෙන් ඉස්සරහ ගේට්ටුව පැත්තට යන්ඩ” 
කියන පරක්කුවෙන් මූ අපේ වත්ත පැත්තට පනිනවා.
ගුරු පාර අයිනෙ මායිමේ තිබුණේ කළු පාට ගාපු තඩි ගේට්ටුවක්,  සිකුරිටි අයිය කතාවට කිව්වේ ගේට්ටුව අරින්ඩ අලි මස් කන්ඩ ඕනෙ කියල. ගෙට්ටුවේ විසාලත්වෙට බරට හරියන්ඩ නෙවෙයි ඒකෙ රෝද හයි කරලා තිබුණේ, වැස්සට රෝද දුවන යකඩ එල්ලයරින් එකට වැලි ගියහම ගේට්ටුව හදපු එකාගේ පරම්පරාවම මතක් කර කර තමා අපි ගේට්ටුව අරින්නේ.

ගේට්ටුව එහා පැත්තට ගියහම පාර පාරෙන් අනික් පැත්තේ කළපුව අත ළග, වතුර කොළ පාටයි. ඇළක දොලක වතුර වගේ නෙවෙයි පිරිසිදු කමක් නැ, ඒත් මිනිස්සු ඕකේ බැහැල දැල් දානවා අතංගු ගහනවා.
ටික වෙලාවක් ගියහම පාර දිහා , කළපුව දිහා බලාගෙන ඉන්න එකත් එපා වෙනවා.
“දවල්ට කෑමත් නැ බං යන්ද බැසිල් අයියගෙ චයිනීස් එක පැත්තේ”
“යන් යන් අද මටත් වැඩක් නෑ ”  චයිනිස් කිව්වොත් කොටා අපායට හරි එයි.
 හැචරියේ මළකඩකාපු රතුපාට බයිසිකලේ අරං මම පාරට එනකොට අඟල  උගෙ  කබල් මවුන්ටන් එක අරං පාරට වෙලා බලා ඉන්නවා. ඒක මොන්ටිසෝරි යන පොඩිඋන් පදින බයිසිකලයක් වගෙ.
“චිකන් හාෆ් දෙකක් ගමු” කොටා යන ගමන් උපදෙස් දෙනවා.
“ඒයි ගේට්ටුව වහලනේ කතා කරපං බලන්ඩ”
බැසිල් අයියේ, බැසිල් අයියේ” කිසි සද්දයක් නැ.
 “කරාස් , කරා..ආස් “මවුන්ටන් බයික් එකක් පිටිපස්සෙන් ඇවිත් කනගාවම තඩි බෙරෙක් පාරක් ගහල  නවත්තනවා.
මොන @#$% එකෙක්ද කියල බලද්දී ගොටුකොලයා, ගිටාර් එකත් කරේ එල්ලන් පැට්ටිස් ගිහිං.
“ අද චයිනීස් එක වහලද බං” බූට් සිංදුවක් කියන ගායකයෙක් වගෙ මෝඩ් එකකින් මං අහන්නේ.
“කුක් අවුරුද්දට ගෙදර ගිහිං, බැසිල් අයියල සෙට් එකම වන්දනාවේ ගිහිං”
“මොන වන්දනාවේද බං, බැසිල් අයියල ආගම මාරු කරලද”
මගෙ ඇස් ගෙඩි දෙක එළියට පනින්ඩ වගෙ.
නෑ බං ------ පල්ලි ගිහිං
ආ එහෙමද අපි එහෙනං හංදියෙ එකටවත් යමු”
“උබලා වැරදිලාවත් හංදියේ චයිනීස් එකට එහෙම යන්ඩ එපා”
“ඒ මොකද බං” ආයෙත් අපි දෙන්නම මයියන් වෙනවා.

“ගිය සතියෙ සෙට් එකක් ඇවිත් හංදියේ චයිනීස් එකෙන් කාල, බත් වල හූනෙක් හිටිය කියල වලියක් දාගෙන සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා.
“ මොනවා යකෝ මාර පොරවලනේ”
“ඔව් බං උන් වැඩේට සෙට් වෙලාමයි ඇවිත් තියෙන්නේ, දැන් මුදලාලියට මල පැනල ඉන්නෙ,  එදා රෑ ආව එකෙක් කියල සැක හිතුන ගමන් දෙකේ හතරෙ පොල්ලකින් කෙලලා දානවා.
“ලලිත් අයියෙ අපි ගෙදර යමු නේ” අඟල කියන්නේ ගොත ගගහා.
  “අදනං ගියාට වැඩක් නැ, ඒකෙත් කුක් ගමේ ගිහිං ඇති. ගොට්ටා  අත වනාගෙන මාරු වෙනවා.
“එහෙනං පාන් රාත්තලක් අරං ගිහිං ප්‍රිජ් එකේ පොඩි මාළු ටිකක් තිබුණ ඒක හොද්දක් හදල කමු.
ඒ අවසන් තීරණය ගන්නෙ මන්තුමා.
අළුත් අවුරුද්ද සැමරුවේ නැතුවට මුහුදුකරෙටත් අවුරුද්දේ හෙවනැල්ල වැටෙනවා..   



Friday, 26 August 2016

පංසලේ දානේ හා මළගෙවල් වල සොදුරු මතක වියට්නාම් 02


හෙට පංසලේ දානයක්ලු යමුද? වසර ගණනාවක් අත්දැකිම් ඇති නඩේ ගුරා අහන්නේ අපෙන්ය.
හරි යමු කීයටද යන්නේ? ලොක්කාගෙන් ගැටළු ඇති නොවන ආකාරයට කාලය කළමනා කරගත යුතුය.
“එකොළහ හමාරටවත් යන්ඩ ඕනෙ” ඒ ගුරාය.
“ඒ වෙලාවට ලොක්ක ඔෆිස් එකේ ඉන්නවා, කෝල් එකක් එහෙම දුන්නොත්,දොළහ පහුවෙලා යමන්”
අපේ ලොක්කාද සුපිරි පොරකි. පරික්ෂනාගාරයට ඇමතුමක් ගන්නා ඔහු දුරකතනයට මුලින්ම අමතන්නාගෙන් අහන්නේ අනිකා ඉන්නවාද කියලාය. එතකොට දෙන්නාගේම පැමිණීම සටහන් වෙනවාය, ගහට ගිය මිනිහාට කියන්න කරුණු තිබුණාසේ අපිටද කියන්න ඕනේ තරම් කරුණු ඇත.
හොදම  හේතුව සල්ෆර් ප්‍රතිශතය බැලීමට සාම්පල් ගෙනඒමට ගියා කීමය, නැත්නම් “ප්‍රඩක්ෂන් ලයින් එක බලන්ඩ ගියා කීමත් ලකුණු ලැබෙන හා ඔහු බලාපොරොත්තුවන පිළිතුරුය.
“හා එහෙනං දොළහට යන්” මම ගමන ඉස්තිර කළෙමි.
මේ දෙදහස් පහ වසරේ අගභාගයේ සිදුවුවකි. එවක අප ලාංකිකයන් කිහිප දෙනෙක්  දකුණු වියට්නාමයේ කර්මාන්තශාලාවක සේවය කළෙමු. එවක බොහෝ දෙනෙක් එදිනෙදා කටයුතු සදහා භාවිතා කලේ යතුරු පැදියි.හිස් ආවරණ පැළදීම අනිවාර්ය කර තිබුණේ නගරයෙන් පිටත කැලෑ පාරවල් වලට පමණි.මේ නිතිය වසර කිහිපයකින් වෙනස්වූ අතර පසුව  සෑම විටම හෙල්මටයක් පැලදීම අනිවාර්ය විය. ප්‍රධාන නගරයක් ආසන්නයේ සිටියත් කාරයක් දක්නට ලැබුණේ කලාතුරකිනි. වැන් වලින් දුර ගමන් හා විනෝද ගමන් යනු දක්නට ලැබුණු අතර අග නගරයේ සිට ක්‍රියාත්මකවූ කුඩා බස් රථ සේවාවක් දක්නට ලැබුණි. භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ද මේ බස් රථ වලින්ම සිදුකෙරුණි.
   “ටිකක් කළින් වරෙන් උබට නාගන්ඩත් ඕනේ නේද? ඒ ගුරාය.
“හරි මම ටිකක් කළින් එන්නං උබ සිරාට ලැහැස්තිවෙලා ඉන්ඩ කියහන්කෝ”
 මම කිවේ සිරිදාසයා (මේ ඇත්ත නම නොවේ) සමග  ගමන් යැම ගැන සියළුම දෙනා දන්නා නිසාය. මුළින්ම කාමරයට එන්නෙත් සිරාය ඒත් ගමනක් යනවිට ලැහැස්තිවී අන්තිමටම ගෙයින් එළියට එන්නේත් ඔහුය. ඒ අපි කිහිප දෙනෙකුගේ කෑගැසීම් මධ්‍යයේය.
දැන් සියළුදෙනාම ලැහැස්තිවී මිදුලේ සිට  සිරාට බැන බැන සිටින අවස්ථාවයි.
“ දැන් දානෙට මොනවාද අපි ගෙනියන්නේ” මා ඇසුවේ සිරා පාරට එනතෙක්  හැමෝගෙන්ම මුදල් එකතුකර ඒ වැඩෙත් ඉවර කල හැකි බැවිණි.
“ පිස්සුද බං මෙහෙ එහෙම මුකුත් අරං යන්ඩ ඕනේ නැ” ඒ ගුරාය.
“යකෝ එතකොට පංසලේ දානේ කාල එන්ඩද යන්නේ” පන්සල් වලට දානදෙනවා හැරෙන්ඩ පන්සල් වලින් දානේ කානැති මට මේවා මැජික්ය.

පංසල ආසන්න වෙත්ම එහි ප්‍රධාන ගේට්ටුව විවුර්තකර ඇති බව දක්නට ලැබුණි. නොයෙක් වර්ණයෙන් යුත් කොඩිවලින් සැමතැනම සරසා තිබුණි. අළු පැහැයට හුරු කිමෝනාවක් වැනි ඇදුමක් හැද සිටි ලොකු හාමුදුරුවන් අප වෙත පැමිණ කථා කළහ. ටික වෙලාවකින් අපි බැංකු වල ඉදගෙන මේසයේ පිගන් වලට බෙදාදුන් දානය කෑවෙමු. ඌරු කටක් ඇති මටනම් එය රසවත් කෑම වේලක් විය. එහෙත් මොන දෙස දිපන්කරේක ගියත් මිරිස් තුනපහ රස හොයන දූපත් මනසිකයන් නම් “හයියෝ කිසි රහක් නෑ” පුරුදු ගීතය ගැයුවේය.

පිළිමගෙයි තිබු බොහෝ පිළිම අපිට ආගන්තුක ඒවා විය. පංසල ඉදිරිපිට ඇති විශාල සුදු පැහැ පිළිම මතු බුදුවන බෝසත් රූපය. ඒවා අසල ඇති සිංහ ප්‍රතිමාව වෙත යන කාන්තාවෝ එම පිළිමය අතගා තම දෑත හා දෙපා එම අතින්ම පිරිමදින්නේ නිරෝගී බව හා ශක්ති සම්පන්න ජිවිතයක් ලැබේවායි පතමිනි. මොවුන් ගේ වන්දනාව සදිසා නමස්කාරය සිහිකරවයි. හදුන්කූරු කිහිපයක් පත්තුකර ගාථා කියමින් සෑම දිශාවකටම හැරී වන්දනා කරනු දුටුවෙමි.
ලංකාවේ පන්සල් වල ඇති කිසියම්ම දෙයක් මෙහි තිබේදැයි හාත්පස බැලූවිට දුටුවේ සිදුහත් බෝසතාණන් ගිහිගෙය හැරගොස් කඩුවකින් තම කෙස් වැටිය කපන ආකාරය දැක්වෙන බිතු සිතුවමකි. කන්ථක අසු හා චන්න ඇමතියාද බෝ ගසක්ද චිත්‍රයේ විය.
 එතෙක් වෙලා මගේ ටිකිරි මොළයට වදදුන් ප්‍රශ්ණය දැන් අසා දැනගත හැක. ලොකු හාමුදුරුවෝ අසළින් යනවිටම “සිල්ලෝයි”(සමාවන්න) කියා දැවෙන ප්‍රශ්නය විචාළෙමි.
“මේ බෝ ගසක් පංසලේ නැද්ද” බෝ ගසේ චිත්‍රය පෙන්වා ඉංගිරිස් නාම් අච්චාරු භාශාවෙන් ඇසුවෙමි.
“බෝධිය තිබෙන්නේ ඉන්දියාවේ” ඔහුගේ පිළිතුර විය.
(By google street view)
මළ ගෙදර විත්ති
අප කර්මාන්තශාලාවේ වැඩ පරීක්ෂකවරයෙකුගේ සීයා මැරිලාය. සවස තුනට පමණ අප මල ගෙදර යෑමට සැරසුනෙමු.සියළුදෙනාම අත්දිග කමිස හැ පොලිශ්කල කළු සපත්තුදා හැඩවී සිටියේ මගුල් ගෙදරකට යන්නට මෙනි.ඒ මා සහබාගිවූ ප්‍රථම මළගෙදරයි. ප්‍රධාන පාරේ සිට අතුරු පාරවල් කිහිපයකම කිලෝමීටර තිහක පමණ දුරක් ගමන්කළේ අඩි දෙක හමාරක් තුනක් පමණ කුඩා කොන්ක්‍රීට් යෙදූ අතුරු පාරවල් වලය. කුඩා ඒදඩු වැනි පාලම් වලින් එගොඩ උනේ බයේ ගැහෙමිනි.එවැනි පාලම් වල දෙපස ඇඳි නොතිබුණු අතර හදිසියේ ලිස්සා ගියහොත් කකුලක් තැබීමටවත් ඉඩක් නොතිබිණ.ගූගල් දෙයියා දුන්න පාළමට වඩා පළලින් අඩු බොහෝ පාලම් ඇත.
එක වරම ඇසුණු බෙර හඩකින් අපේ ගුරා කිව්වේ මළගේ ළග බවයි. ඒ අතර “බයික් පදින උන් වැඩිය බොන්ඩ එපා, දැක්කනේ පාරේ හැටි” යැයි සත්තමක්ද දැම්මේය..
“මාරයිනේ මළගෙවල් වල බොන්ඩත් දෙනවාද” පුදුමයට පත් මම ඇසුවෙමි.
 ගැනීමට පහසු තැනකින් යතුරු පැදි නැවැත්වූ අපි නිවසට ගියෙමු. අප පිළිගත් වැඩ පරීක්ෂකවරයා ටොපි හා කොළ තේ(ග්‍රීන් ටි) පිලිගන්වුවේය. පසුව අප මිනියට වැඳිමට අතුල්ගෙට ගියෙමු. වසා ඇති මිනීපෙට්ටියේ මුහුණ පමණක් පෙනෙන සේ වීදුරුවක් යොදා තිබුණි. බෙර වාදකයන් හා නලා කාරයන්ගේ තාලයට අනුව පත්තුකරන ලද හදුන්කූරු දෑතින්ම අල්ලා වඳිමින් පහත් වෙමින් දන ගහමින් විනාඩි කිහිපයක් මේ ආචාර කිරීම සිදුවිය. පසුව මිදුලේ තිබූ මේස වටා අප සියළුදෙනාම හි ගත්තෙමු. 
ඒ අතර අප වෙත පැමිණි කම්හලේ මිතුරා මියගිය තැනැත්තා ගැන විස්තර කියමින් හරිම කණගාටුයි “බෝන්වා” කිවේය. අයෙක් “පූලේ” බෝතලයක් හා කුඩා වීදුරුවක් (මිලිලීටර 50 – 75) ගෙන එය පුරවා වැඩපරික්ෂක වෙත දුන් අතර ඔහු තරමක් බි ළගින් සිටි කෙනාට දෙයි. මේ ආකාරයට වීදුරුව මේසය වටා යයි. වීදුරුව හිස්වූ සැණින් එය පුරවන්නේ අපේ කම්හලේ මිත්‍රයාය. එකම වීදුරුවෙන් බීමත් කලවමකට අයිස් වතුරවත් නැතුව අමුවෙන්ම පානය කිරීමත් නිසා ඒ බිම දෙවෙනි වටයෙන්ම  මට එපා විය. ඒකටත් හරියන්නට පසුව ගෙනා බත්, බිම්මල් පොහොට්ටු හා කුඩා කොළ වර්ග යොදා සකස්කළ සුප් බඳුනෙන්  වැඩි හරියට වගකිවෙමි.

මළගෙදරින් පිටත්වී ආපසු එන ගමනේදී යනවිට තිබුණු පාරේ  නුහුරු ගතිය වළවල්, ඒදඩු කිසිවක් තිබුණා දැයි මතකයක් නොවුයේ සැන්ඩි කිසිවක් නැතුව සරිරගතවූ ඇල්කොහොල් නිසා විය යුතුය...

Monday, 18 July 2016

උවමනාකර තිබේ....



පැහැපත් සිහින්සිරුරක් (පිට ලෑලි සලකා බලනු නොලැබේ) ඒවගේම සික්ස් පැක් ඌරු පිටක් ඇති අයද අදාළ නැත.කොට මොඩල්ද සලකා නොබලන බැව් කරුණාවෙන් සලකන්න. හැමදාම බෝඩිමේ කෑම කෑමට අපහසු බැවින් රසට කෑම සැදීමට හැකි විය යුතු අතර නිවසක් හිමිනම් වඩාත් සුදුසුය. කේන්දර අනවශ්‍යයි, වෙද වාර්තාවක් අවශ්‍යයි.(පාරම්පරික ලෙඩ රෝග ඇති අය නුසුදුස්සන් සේ සලකමි) ආගම පස්නයක් නැත, ප්‍රශ්නයක් වන්නේ රටේ ඇති සියළුම ගස් ගල් හා පල්ලි,කෝවිල් හෝ දේවල ගානේ යන ගතානුගතික ජීවියෙක් වීමයි. වැද්දියක් සේ  දනිස්සට දිග කොණ්ඩයක් නොතිබුණාට ගැටළුවක් නැත.

මෙන්න මෙහෙම දැන්වීමක් ප්‍රචාරය කරාලු (සාක්කි නැත) වසර 29 -32 දක්වා, පව් නේ, දැන් ඔහොම තරගය ඉදිරියට යනකොට අනවශ්‍ය පන්දු මගහැරීමට අවශ්‍ය වන විට ගහන ආරක්ෂාකාරී පහර “ කලිසං අදිනවද”(ගම්වල ගැල්ලමයි ගොඩදෙනෙක් කලිසන් අදින්නේ නෑ.....කලිසන් අදිනවා කිව්වොත් “මුහුදේ පිනන්ඩ දන්නවද” උත්තරේ නෑ.ඒ කතන්දරේ එතැනින් ඉවරයි.

ඔන්න ඔහොම කාලය ගතවුනාලු. එකමත් එක දවසක එකමත් එක පරීක්ෂණාගාරයකට කෝල් එකක් ආවලු.
“අපිට **** කෙමිකල් එක  0.004 ග්‍රෑම් වලට කිරා ගන්ඩ පුළුවන්ද? තුන්දෙනෙක්ගෙ වැඩ තනියම කරලා තව පිට වැඩත් කරපංකෝ කියල පිපිච්ච මල අතේ තියාගෙන අනික් පැත්තෙන් උත්තරේ දුන්නලු මෙහෙම.

“මේ ගානට කිරන්ඩ තරාදියක් තියෙනවා, කිරන හැටි කියල දෙන්ඩත් පුළුවන් තේරෙන කෙනෙකුට කෙමිකල් බෝතලෙත් අරං එන්ඩ කියන්ඩ”
ටික වෙලාවකින් “ඇස්කූස් මි” කියාගෙන කළු කොට තාර පිප්පයක් වගේ ගැල්ලමයෙක්.......පිච්චු නම් කෙලින්ඩ එපා...... සින්ඩරෙල්ල වගේ ලස්සන , සුන්දර,අවිහිංසක,ගුණයහපත්, කාරුණික ළදක් පරීක්ෂණාගාරයේ දොරෙන් ඇතුලට ආවලු......
ට්‍රේනින් කරන්ඩ කළින් ඉන්ටවිව් කරලා ඉන්ඩ එපැයි, ඉතිං එහෙම කරාලු. පරික්ෂනාගාරයේ ටයිල් කැට දිහා බලාගෙන, ටයිල් කැට කකුළෙන් හාර හාර  සාන්ත දාන්තව උත්තර දුන්නලු. ඉන්ටව් එක ඉහළින්ම පාස් උනාලු.
කොහොමින් කොහොම හරි කෙමිකල් කිරන වැඩෙනුත් බාගයක්ම ඉන්ටව් කරපු කෙනා කරලා දුන්නයි කියන්නේ...
දැන් ක්‍රීඩකයා උඩ පන්දුව දෙසම නෙත් නොහෙලා කට ඇරන් බලන් ඉන්නවලු. ඔහොම ටික දවසක් ගියාලු. දවසක් උදේ වරුවේ තේබොන වෙලාවට වගේ අර ගැල්ලමයයි තව කෙනෙකුයි පරික්ෂනාගාරයට ආවලු කාටද අසනීපයි කියල බලන්ඩ, නිකම්මත් නෙවෙයි බිස්කට් පැකට් එකකුත් අරං.
“ලෙඩෙක් නැතුව ලෙඩ බලන්ඩ ඇවිත්” මෙතන පැහැදිළිවම කවුරු හරි  ලණුවක් දී ඇති ආකාරයකි. ඒ අස්සේ බිස්කට් පැකට් එක තිබුණු කවරෙ ඇතුළේ සෙනෙහෙ කොළයකි.
“අයියේ අපි දෙදෙනාට දුර ගමනක් යාමට හැකිවෙතැයි මට සිතේ” ඔහොමත් වාක්කියක් ලියල තිබුනලු..
එකපාරටම මේක කරපු එකා මීටර් නොවුණේ එකට වැඩ කරපු උන්ගේ අත් අකුරු නොවන නිසාය, ඒත් පැය කිහිපයකින් බඩු මාට්ටුය.
“මම උදව්වක්නේ කරන්ඩ හැදුවේ” හක්ක පන්නන්ඩ හදන කොට මේකා කියන්නේ එසේය. කෙසේ වෙතත් පිළිබද සිතක් ඇතිවීමට මේ නාඩගම්ද හේතු බුත උනාලු...පසුව මේ පාප මිත්‍රතෙමේ මාගේ චපෝටරයා (චර පුරුෂයා හා සපෝටර් ) බවටත් පත්විය.
පරීක්ෂණාගාරයට පැවරී තිබුණු (බොහෝ වෙලාවට ඇණයක් වන) අවසන් නිපැයුම් පරික්ෂාව තනිකරම පවරාගෙන සියළුම  කුණු ගොඩවල් කරට ගත්තේ ප්‍රියම්බිකාව දැක ගැනීමේ හැකියාව ඇති බැවිණි.....
සියල්ල හොදින් පතාගෙන ආ විදියට සිදුවිය. හොස්ස ළගින් මැස්සෙක් ගියත් මල පනින ගෙම්බෙකුට  දෙවෙනි මවක් වැනි සුන්දර ලලනාවක් ආදර බර බිරිදක් ලැබීම කොපමණ වාසනාවක්ද...





Thursday, 23 June 2016

හැචරියේ අතුරු කථාවක් - අවසන් කොටස



“හලෝ ලාල් අයියද කථාකරන්නේ” යකෝ මගේ හෑන්ඩ් ෆෝන් එකෙන් මම නැතුව අහවල් එකෙක් කථා කරන්ඩද!!!!!.....
“කවුද කථාකරන්නේ” මල අතේ අරන් මම ඇහුවේ..
“අයියේ මම හලාවත ***** මල්ලි අපි බඩු ගන්ඩ කඩේට ආව, කඩේ අංකල්ගේ ෆෝන් එකෙන් ගත්තේ”
“ආ මල්ලි මට එකපාරට අදුර ගන්ඩ බැරි උනා කොහොමද”
“හොදයි අයියේ මේ අක්කා ඉන්නවා”
ඊට පස්සේ ගැල්ලමයත් කථාකරා.
මුළින්ම කිව්වේ මම විහිළුවට නොම්බරයක් ලියල දුන්න කියල හිතුව කියල, මොකද මම ෆෝන් එකක් තිබුණට ඕක එළියට ගත්තේ රැ වැඩ ඉවරුනාට පස්සේ.ඒ වෙලාවට තමයි ගෙදරින් කෝල් එකක් ආවත් එන්නේ,එන කෝල් වලටත් කැපෙන ඒ කාලේ මම මලාට ඕකෙන් කෝල් ගත්තේ නැ, මොකද කම්පැනි ෆෝන් එකෙන් කෝල් ගන්ඩ පුළුවන් උන නිසා.
.....................................................................................
මෙන්න තවත් චන්ද ප්‍රථිපලයක්.......හුටා වැරදුනා...පිංවතුනි තවත් අති විශේෂ ගල්ඔය ......නෑ ගල්ඔය අරක්කු නෙවෙයි, තවත් අති විශේෂ පාටියක්.....
ටාන් ටීන් ටුං.......
ගෑල්ලමයාගේ උපන්දින පාටිය......
“කවදද තියෙන්නේ” මංතුමා.
“ලබන සතියේ -----ඔයා එන්ඩම ඕනේ”
“ඔව් ඔව් අනිවාර්යෙන්ම එනවා”
යන්ඩ නම් බැරියැ ඒත් තෑග්ගට මොනවාද අරං යන්නේ?
සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්නයක්????
අවසාන තීරණය දුරකථනයක්...
නොකියා පට්ට ගණන්, මට තියෙන්නෙත් සෝනි එරික්සන් එකක්, ඒ දවස්වල ඉන්ටර්නෙට් තිබුන කියලයයි,කොලබට ගිහින්ම තමා බලන්ඩ වෙන්නේ. නැග්ග හලාවත  කොටුව බස් එකක,යන ගමන් හිත හිතා ගියේ “මොටරෝලද,සිමන්ද,අල්කටෙල්ද,එරික්සන්ද”

කොටුවේ ෆෝන් කඩ පැත්තේ  වටයක් ගියා හරියන්නේ නැ වැඩේ, පස්ට ගණන්, ගියා මල්වත්ත රෝඩ් එක පැත්තේ,එබුන කඩේ ඉස්සරහ ෂෝකෙස් වල දාල තිබුන සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් වලට, පොරක් කඩේ දොර ගාව ඉදන්ම ඇහුව
 “මල්ලි ෆෝන් එකක්ද බැලුවේ, හොද බඩු තියෙනවා,අළුත්ම බැට්‍රියක් දාල හාරදාහකට දෙන්නම්". ෂෝකේස් එකේ තිබුණ ඇල්කටෙල් ෆෝන් එක අරං පොර කිව්වා.

මම බැටරිය දාල මෙනු එකට ගිහින් පොඩ්ඩක් බටන් එහෙමෙහෙ ඔබල “3500ක් දෙන්නම්" කිව්වා.
“හයියෝ ඒ ගානට නම් බෑ,මේකේ අළුත් එක අටදාස් පන්සියක් වෙනවා” 
ෆෝන් එකට මගේ හිත ගිහින් තිබුණේ ඇල්කටෙල් ෆෝන් හෙන පවර්ෆුල්, පාවිච්චියටත් හොදයි. අනික ඒ කාලේ පොඩි ෆෝන් තමයි ඉස්ටයිල් එක. මට මතකයි පොරක් උගේ ෆෝන් එක කරේ දාන චෙන් එකේ එල්ලගෙනත් හිටිය. සින්ගප්පුරුවෙන් ගෙනාපු එකක් කියලයි කිව්වේ.
“තුන්දාස් හයසීයක් දෙන්නම් උපරිම” මම කඩෙන් එළියට යන්ඩ හැරුණා.
“මල්ලි 3750ට වැඩේ කරමු. මාස හයක වොරන්ටියකුත් දෙන්නම්”
ෆෝන් එකේ වැඩේ ගොඩ ඒත් මේ පාවිච්චි කරපු ෆෝන් වලට සිම් ගන්ඩ අමාරුයි,ආකේඩ් වලට ගියහම ෆෝන් එකේ සිරියල් නොම්බරේ ගහල බලනවා. ඒ නොම්බරේට සිම් එකක් අරන් තිබුණොත් අයේ අළුත් එකක් දෙන්නේ නැ..දෙන්නටම එකම වර්ගයේ සිම් තියෙන්ඩත් ඕනේ මේ එන කෝල් වලටත් සල්ලි අයකරපු කාලෙනේ.. (මේ එක්දහස් නමසිය අනු ගණන් වලදී බව සලකන්න)
“අයියේ මේ පාරේ ඩ***ග් සිම් එකක් ගන්ඩ කඩයක් තියෙනවද” මම ෆෝන් කඩේ කොල්ලගෙන්ම ඇහුවා.
“මේ පාරේ කෙළින්ම ගිහින් දකුණට හැරෙන කොට තියෙන දෙවෙනි කඩේ, අයි ඩි එක තියෙනවා නේද”
“ඔව් අයියේ මම එන්නම්” කියාගෙන මම එන්ඩ ආව.
කඩේ බුවාට කිව්වම සිම් කීපයක් පෙන්නුවා,මම මතක හිටින අංක රටාවක් තියෙන එකක් තෝරලා ගත්තා.ඒ දවස් වල ආකේඩ් වල මේ විදියට නොම්බර තෝරන්ඩ දෙන්නේ නෑ. කියන්ඩ සන්තෝසයි පිංවතුනි බුවා මගෙන් ගත්ත සල්ලි වලින් ආකේඩ් එහෙකට බස් එකෙත් ගිහිං සිම් දෙකක් ගන්ඩ පුළුවන්. ඒත් මට වෙන කරන්ඩ දෙයක් තිබුණේ නෑ. ඊට පස්සේ එතැනින්ම හාරසීයේ කාඩ් දෙකක් ගත්තා. ඒ දවස් වල රිලෝඩ් තියා පනහේ සියේ රිචාර්ජ් කාඩ් තිබුණෙත් නැ.
 සමච්චලයක්ද  අභියෝගයක්ද?
තෑගිත් අරං ඔන්න කියපු දවසේ පාන්දර දහයට එකොළහට විතර මන්තුමා පාටියට ගියා. අපි වගේ පොඩි අයට බියරුත් වැඩිහිටියන්ට සැර ඒවත් තිබුණා. කට්ටියත් එක්ක පොඩි ඩාන්ස් එකක් එහෙම දාල කයියක් ගහන කොට මෙන්න කියාපි ලංකාවේ මිනිස්සු ටලෙන්ටඩ් නැ කියලා. අම්මප චිකන් ඩේවල් එකක් දාන්ඩ හිතුනා සනිකවම...

මට සිංදු ලියන්ඩ පුළුවන්,ගිටාර් එක ගහන්ඩත් පුළුවන් අපේ මල්ලිටත් ගිටාර් එකයි,ඩ්‍රම් සෙට් එකයි ගහන්ඩ පුළුවන් කියල මෙකි කියපි. අවුලක් නැ මටත් ඩ්‍රම් ගහන්ඩ පුළුවන් තාලෙට හැබැයි මගදී බ්‍රේක් කිරිලි නෑ දිගටම එමම තමා. නිකං මම සවුත්තු වෙන්නේ මොකටද මම කිව්වා මටත් සිංදු ලියන්ඩ පුළුවන් නව කථාවකුත් ලියාගෙන යනවා කියල.

“ෂා හොදයිනේ ලියල මට දෙන්ඩ මම මෙලඩි එකක් දාල සිංග් කරන්නම්” කිව්වා. ඒ වචන ටික ඇහෙන කොට අර කාටුන් එකේ වගේ මගේ කන්දෙකෙන් සෝස් ගාල දුම් ඇවිත් ඇස්ගෙඩි දෙක අඩියක් විතර ඉස්සරහට ගිහිං අයෙත් තිබ්බ විදියටම හැදුනා.
කොහොම හරි පස්සේ සිංදු දෙකකුයි කෙටි නවකතාවකුයි ලියන්ඩ පුළුවන් උනා. ඒ දවස් වල ෆෝන් තිබුණට දැන් වගේ මල් කඩන්ඩ තරම් වත්කමක් තිබ්බේ නැ. ඒත් දවසට එස් එම් එස් තුන හතරක් හුවමාරු උනා.
අවුරුද්දක් විතර ගැටුම් වලින් තොරව කාලය ගෙවිලා ගියා. ඒත් ආරම්භයක් තියෙන හැම දේටම අවසානයකුත් තියෙනවා කියනවනේ ඒ වගේ මේකටත් අවසානයක් තිබුණා. ඒ අවුරුද්දක් අවසාන වන දෙසැම්බර් තිස් එක දවසක පාටියකදී.පාටිය තිබුණේ මිගමුවේ ගෙදරක.ගෙදරක් කිව්වට මේක අහවල් ගාමන්ට් වල  බයින් ඔෆිස් එකේ ෆිලිපින් අයට කම්පනියෙන් දුන්න ඒවා.
දේවින්දයි , චමත් කියල කොල්ලෝ දෙන්නෙක් ඇවිත් හිටිය පාටියට. ලෝරගේ මල්ලිගේ යාළුවෝ කියල තමයි මට අදුන්වල දුන්නේ. ඒත් ලෝරත් එක්ක තමයි වැඩිපුරම එකට හිටියේ. බියර් බිල ටිකක් මත්වෙලා හිටපු මම මිදුලේ තිබ්බ ගල් බංකුවට ආවේ ටිකක් හිත එකලස් කරගන්ඩ. ලෝර මේ කොල්ල එක්ක පරණ කෙස් එකක් තිබුණ කියල මම දැනගෙන හිටියේ.මම ටිකක් මේ ගැන විස්තර හොයල තිබුණේ. ඒ අස්සේ මැටහොන් අක්කා (අපි මෙයාට මල්බරෝ අක්ක කියලත් නම දාල තිබුණේ සිගරට් බොනකොට එකකින් තව එකක් පත්තු කරන චේන් ස්මොකර් කෙනෙක් නිසා.) කොහෙන්දෝ මම හිටපු තැනට ආව.
“හේ ලලිත් හැමෝම සතුටු වෙනකොට මොකද මෙතන කරන්නේ” කියල ඇහුවා.
 මම මුකුත් නොකිය හිනාවෙලා එයාගේ අතේ තිබුණ සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් අරං ලයිටරේට දෙපාරක් තට්ටුවක් දාල පත්තුකර ගත්තා.
“මොකද ප්‍රශ්නයක්ද” කියල ආයෙත් ඇහුවා.
මොකද වෙනද සිගරට් පැකට් එක දික්කරපුවහම මම සිගරට් ගන්නේ නැති නිසා වෙන්ඩ ඇති.
 “කවුද අර ලෝරගේ පස්සෙන් යන කොල්ලා” කියල මම ඇහුවා.
“ඇයි දන්නේ නැද්ද ඒ ලොරත් එක්ක කළින් යාළුවෙලා හිටපු කොල්ලනේ, ජාඇල පල්ලියක ගීතිකා කණ්ඩායමේත් ඉන්නවා හොදට ගිටාර් ගහන්ඩත් පුළුවන්” කියල කිව්වා.
 පරණ යාළුවෝ මොන එහෙකට පාටිවලට ගෙන්න ගන්නවද කියල මට මල පැන්න. බාගයක් වත් බිල නොතිබුණ සිගරට් එක බිම දාල කකුළෙන් පොඩිකරපු මම ගේ ඇතුළට ගියේ අද මේකෙන් දෙකෙන් එකක් ඉවර කර ගන්නවා කියල හිතාගෙන.
මේක පරණ ආරංචියක් උනත්, ආයෙත් මේක පටන් අරන් ඇති කියල මට හිතුනේ නැ.
මයික් එකක් අතේ තියාගෙන ටීවී එකේ යන සිංදුවක් කියන්ඩ එකෙක් දත කනවා,කීප දෙනෙක් බියර් විදුරු උස්සගෙන ගායකයාට කින්ඩියට හිනාවෙනවා,ලෝරගේ මල්ලියි ,දෙවින්දයි බර කයියක්. මහගැනියි(දැන් වෙන්ඩ නැන්දම්මා නෙවෙයි,, මොකද අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි,....සිංහ ලේ කකියනවා යකෝ...) කෙල්ලයි සැටියේ ඉදගෙන කථාවක්.
“බියර් බිලා ඇසුත් රතුවෙලා” වෙන්ඩ නැන්දම්මා.මමත් එතැනින්ම ඉද ගත්තා. කෙළින්ම මාතෘකාවට බැස්සා.
දේවින්ද ගොඩක් කල් ඉදලා අදුනනවද?
“ඔව් එයා මල්ලිගේ යාළුවෙක්”
“මල්ලිගේ යාළුවෝ අක්කලාගේ උපන්දිනේට ගිටාර් තෑගි දෙනවද, නමේ අකුරුත් ගහල?
අම්මයි දුවයි දෙන්නම මගේ මුණ දිහා බලාගෙන හිටියේ ඊළගට මොකක් වෙයිද කියල දෙගිඩියාවෙන් කියල මට හොදටම තේරුණා. සමහරවිට තොරණේ විස්තරේ මම නොදන්නා දේවලුත් ආරංචි වෙලා ඇති කියලා හිතන්ඩ ඇති.
“ඉස්සර යාළුවෙලා හිටපු උන් මොකටද පාටි වලට ගෙන්න ගත්තේ”  මම ඇහුවේ අද මේකේ දෙකෙන් එකක් විසදා ගන්නවාමයි කියල හිතාගෙන ටිකක් සද්දෙන්.
“ඇයි ඒක ඔයාට ප්‍රශ්නයක්ද”
හැමෝම  ඉස්සරහා තමන් අපහසුතාවයට පත්වුණ නිසාද  මන්ද ලෝරත් මගෙන් ඇහුවා.
“නෑ කිසිම ප්‍රශ්නයක් නෑ” කියපු මම එතනින් නැගිටලා ආවේ අයේ කවදාවත් මේ මිනිස්සු එක්ක සම්භන්දකමක් පවත් වන්නේ නෑ කියල හිතාගෙන..
ඒ තමයි කථාවේ අවසානය, අවසානය කියන්නේ තව කථාවක ආරම්භය, ඒක නම් බොහොම සුන්දර කථාවක්.


 ඒකත් පස්සේ ලියන්නම් ඊට කළින් “සෙල්වගේ” අම්ම (සුදු ටීචර්)සම්භන්ද කථාව දාන්ඩ ඕනේ කියල හිතුවේ අසනීපයෙන් ඉන්න අම්ම බලන්ඩ ලංකාවට ගිහිං ඇවිත් “සෙල්වම්” “මචං අම්ම මේවා හදල දුන්නේ කාල බලහං” කියල දුන්න කෑම කනකොට මතක්වුනේ යකෝ මු කියපු කථාව තවම බ්ලොගේ ලිව්වේ නැහැනේ කියල. එහෙනම් ලබන සතියේ යාල්පානම් කථාවක් හොදේ......

Thursday, 16 June 2016

හැචරියේ අතුරු කථාවක් - 03 වන කොටස



හැචරියේ අතුරු කථාවක් 01
හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටස

හයියෝ කිසි දෙයක් මතක් වෙන්නේ නෑනේ කතා කරන්ඩ,උගුර කට වේලිලා හින්දාඩ්යයි, මහදාඩ්යයි දෙකම එකට දානවා,පපුවෙ ලබ් ඩබ් සද්දේ ක්‍රමයෙන් වැඩි වෙලා හංදියේ රෙකෝඩ් බාර් එකේ බෆල් වල සද්දේ ගානට ඇහෙනවා.
“ ශකිරගේ කැසට් තියෙනවද” මේ මං යන්තම් වචන දෙකක් ගැට ගහ ගත්ත.
“තියෙනවා ගෙදරදී කිව්වනම් දෙනවනේ” හයියෝ ගෙදරදී ඕව මතක් වෙනවයි..
“ටිනා ටර්නර්ගේ සිංදු අහන්නේ නැද්ද”
“අහනවා, මොනවාද බලන ෆිල්ම්ස්”
“ඇක්ෂන් ,රොමැන්ටික් කථා හැබැයි සතුටුදායක අවසානයක් තියෙන ඒවාට තමයි කැමති”
කයිය ගහන්ඩ ගිහිං මගේ බෙල්ලත් උළුක් වෙනවා, ඇයි යකෝ මේ ඇන්ටියට බැරිද කියන්ඩ “පිටිපස්සේ සිට් එකෙන් ඉදගෙන කථා කරන්ඩ පුතා කියල...ශිහ්,,,,
නළුවන්ගේ නිළියන්ගේ,ගායක ගායිකාවන්ගේ කථා වලින් වෑන් එක වැඩ පලේ ගේට්ටුව ළගටම ඇවිත්.
“හෝන් එක පොඩ්ඩක් ගහන්ඩ සිකියුරිටි ඇති” එහෙම කිව්වත් මම දන්නවා දැන්නම් විමලේ අයියා හිටියත් ගේට්ටුව අරින්ඩ එන්නේ නැති බව.
මමම ගේට්ටුව අරිනවා, හිතෙන් අරුට බැන බැන.
ඊට පස්සේ කට්ටියව පිළිගැනීම, උම්මා දීල, වැඩක් නැ, උම්මා දෙන්නේ අහකට නිකම් කම්මුල් දෙක හප්පලා බදා ගන්නවා,පිරිමින්ට උම්මා නෑ...මෙලෝ රහක් නෑ,බලාගෙන ඉන්න මම හිතනවා..
ඔන්න දැන් කට්ටිය කේක් කපන්ඩ යන්නේ, “ෆොටෝ එකක්  ගන්ඩ පුළුවන්ද” බෝසිගේ මහත්තයා එයාගේ පොටෝ ගැහිල්ල මට බාර දෙන්ඩයි යන්නේ,
මුළින්ම වැඩ කෑලි ටික බලාගෙන ඉන්ඩ එපැයි, ඔටෝ පෝකස්, රීල් එක ඔටෝ ලෝඩ් වෙනවා, පිටිපස්සේ තියෙනවා දිනේ වදින එක වැටෙන  පොඩි  ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. ඒකට පහළින් තියෙනවා පොඩි බටන් තුනක් ඩිස්ප්ලේ එකේ දිනේ එජස් කර ගන්ඩ. 135 කොනිකා හෝ නිකෝන් කැමරාවක්. මමත් ආසාවෙන් පොටෝ කීපයක් ගැහුවා. ලොක්කි හැමෝම ඉස්සරහා (වෙන්නප්පුවේ පවුල් දෙකයි,මීගමුවේ නැවතිලා ඉන්න තුන්හතර දෙනෙක් - බයින් ඔෆිස් එකේ වැඩ කරන අය) මම ගැන වර්ණනාවකුත් කරා, විශ්වාසවන්ත,බියර්ටිකක් වත් බොන්නේ නැති(දෙන්ඩ එපයි බොන්ඩ) හරි හොද ළමයෙක්ය, අපිව නුවරත් එක්ක ගියාය කියල.
කෑම කාල සිංදු කියල ටික වෙලාවකින් යෝජනාවක් ආව මුහුදේ නාමු කියල, පස්සේ කීප දෙනෙක් නැවතුනා අව්ව සැරයි කියල මමයි, වෙන්නප්පුවේ කඩේ කපල් එකයි, මීගමුවෙන් ආව දෙන්නෙකුයි ලෝරයි එයාගේ මල්ලියි වෙරළට ගියා. අව්ව සැරයි අපි පොල්ගස් හෙවණට වෙලා චැට් එකක් දාගෙන හිටියා. සිරි ලාංකීය සුවාමි පුරුෂයින්ගේ ඉරිසියාකාරී කිරියාකලප, සෑම විටම වයිපරයව යටත් කොටගෙන සිටිනවා වගේ සම්භාව්‍ය මඩ තමයි මාතෘකා උනේ. වෙන්නප්පුවේ කඩේ අයියා තමන්ගේ පිලිපීන් බිරිදට එහෙම සලකන්නේ නැහැයි කියල තර්ක කරා. මමත් පුල් සපෝට් එක දුන්නා. ඔහොම විනාඩි කීපයක් ඉන්නකොට වැල්ලේ පොඩි එකෙක් මට කථා කලා.
“අයියේ නාන්ඩද හදන්නේ”
ඔව් අව්ව සැරයි ඒකයි ටිකක් හිටියේ, කොහෙද මල්ලි යන්නේ”
“මෝය කට කපලා ඒක බලන්ඩ යනවා”
මමත් කට්ටියව කැන්දගෙන(මීගමුවේ කියන්නේ එහෙමයි) මෝය කට පැත්තට ගියා.
වතුර පාර එච්චරම සැර නෑ ඒත් වතුර පාර හරහා ගියේ මමයි ලෝරයි මල්ලියි විතරයි, මගෙ හාට් එකයි කකුල් දෙකයි එකම බිට් එකකට ගැහෙන්ඩ ගත්ත,මේක තමයි හොදම අවස්ථාව කියල හිත කිව්වා. ලොරගේ මල්ලි සිප්පිකටු ඇහිදගෙන අපි දෙන්නගෙන් ටිකක් ඈතට ගියා.මුහුදු සුළගත් එක්ක පුරුෂ දහිරියත් එකතුකරලා හොද හුස්මක් අරගෙන පිටිපස්ස බලල සෙට් එක ඉන්නේ ඈත කියල ස්ථිර කරගෙන මලයටත් අපි කියන ඒවා ඇහෙන්නේ නෑ කියල ස්ථිර කරගෙන ආවොත් අලියෙක් ගියොත් වචනයක් කියල හිත හදාගෙන “ඔයාට යාලුවෙක් ඉන්නවද” කියල ඇහුවා.
“නෑ” කිව්වම “මම ඔයාට කැමතියි” කියල කිව්වා.
ඊට පස්සේ ලෝරා පොඩි හිනාවක් දාල මගෙ මුණට එබුණේ මේ අවන්කෙන්ම ඇහුවද කියල බලන්ඩ වගේ, ඒ හිනාව දැක්කම හිතේ තිබිච්චි විචිකිච්චාව කොහෙන්ගියා ද කියල නැතුව ගියා.
එතකොටම මලය ඇවිත් එයා අහුලපු සිප්පි කටු පෙන්නලා ඒගොල්ලන්ගේ බාසාවෙන් මොනවාද කිව්වා.
ටිකවෙලාවකින් අපි ආපහු ආව, මම මාර සතුටකින් හිටියේ, මුහුදට පැනල හැති වැටෙනකල් පීනන්ඩ නැත්නම් කෑගහල මේ විස්තරේ කියන්ඩ මට ඕනේ උනා.
අපි හැචරිය හරියට එනකොට කිහිප දෙනෙක්ම වැල්ලට ඇවිත් හිටියා, ලෝරගේ අම්ම, සිගරට් අක්කා(එයාගෙ නම අමුතුයි,ඒත් මල්බරෝ සිගරට් පැකට් එකයි ලයිටරෙයි අතේ තියෙන, එක සිගරට් එකකින් තව එකක් පත්තුකරන නිසා අපි අතර  මේ නම රෙජිස්ටර් උනා) තවත් දෙන්නෙක් හිටියා.
අපි ඈත එනකොටම කවුද මුහුදේ නාන්නේ කියල ලෝරගේ අම්ම ඇහුවා. ඒ වෙන කොටත් අපි වතුරට පැනලා ඉවරයි. අපි පැයක් විතර වතුරේ පීනලා වැල්ලට ගියා. ඒත් ලෝරගේ අම්මනම් තවම ගොඩට එන පාටක් නැ. මම ලොරගේ මල්ලිගෙන් ඇහුවා අම්ම හැමදාම මෙහෙම ගොඩක් වෙලා නානවද කියලා. එයත් පුදුමෙන් වගේ අම්ම දිහා බලාගෙන හිටියේ....
අපේ බොසි ඇවිත් තේ බොන්ඩ යන්ඩ කථා කරා, ඇන්ටිටත් කථා කරා. මොකක් හරි අමුත්තක් සිද්ද වෙලා තියෙන බව මට එයාලගේ මුහුණු වලින් පෙනුනා.
පස්සේ මල්ලි මට කිව්වා එයාලගේ අම්මගේ “බොරුදත් කුට්ටම” වතුරට වැටිලා හොයාගන්ඩ බැරුව තමයි මේ ගොඩක් වෙලා වතුරේ ඉදල තියෙන්නේ කියල. ඊට පස්සේ අපිත් ගිහිං වතුර යට හෙව්වා,රැළි වලට වෙරළට එයි කියල බලන් හිටිය ඒත් හම්බ වුණේ නෑ.
ටික වෙලාවකට පස්සේ මගේ සුබ ආරංචිය මම බොසිට කිව්වා, එතකොටම “මම කිව්වනේ කැමති වෙයි කියලා” කිව්වා.


“දැන් නැන්දට දත් දාගන්ඩ සල්ලි දෙන්ඩ” කියල ලොක්කි කිව්වා. යකෝ මටමයි වෙන්නේ. පව් කියලත් හිතෙනවා, දත් ටික නැතුව ඒ උන්දැගේ කථාවත් අඩුයි, සෝක මුඩ් ගහල හිටියේ. කමක්නෑ මේ වපුරන කාලෙනෙ කියල හිත හදාගෙන යන ගමන් හලාවත දත් බදින තැනකටත් ගිහිං ඒ වැඩෙත් ඉවර කලා. ඒත් මගේ එකවුන්ට් එකෙන් සල්ලි අරං වැඩේ ගොඩ දැම්මම ඉස්තුතියෙන් 75% ගියේ දෙය්යන්ට,(“oh..THANK YOU LORD”) ඕකනම් මට දිරවනවා මදි සත්තලන්. ග ර් ර් ර්..........

සතියකට විතර පස්සේ හවසක මගෙ ෆෝන් එකට කෝල් එකක් ආව,.........................................
තවත් මරාලයක්ද?....ලබන කොටසින් බලමු.....



Thursday, 9 June 2016

හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටස


නැවත හමුවිම
සති දෙකකට පමණ පසු නැවත මම මේ ෆිලිපින් පවුල සොයා ගියේ එකල දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ බැවිණි. බොසිගේ පුතාගේ උපන්දින සාදයට පැමිණෙන ලෙස ආරාදනා කිරිමට හා  හදිසි අවශ්‍යතාවයක් සදහා පණිවිඩයක් දීමට හැකි තැනක දුරකථන අංකයක් ලබාගැනීමත් මට පැවරුණි. හලාවත පොත් කඩයකින් දියසායම් පෙට්ටියක්,බ්‍රිස්ටල් බෝඩ්, මලයාට පාසැල් පොත් කිහිපයකුත් (චිත්‍ර ඇදීමට ගන්නේ සුදු පැහැති බෝඩ් පමණි, මා ගෙන ගිය ඒවා අතර තිබූ වෙනත් වර්ණ සහිත බෝඩ් ඔවුන් පසුව මාරු කරගෙන තිබුණි.) යනවිට රැගෙන ගියෙමි.
එදින අප බොහො වෙලාවක් කථා කරමින් සිටි අතර මගේ ඉංග්‍රීසි සිංදු ඇති කැසට් පටයකට(ශකිරා හා බැක්ස්ට්‍රීට් බෝයිස් ) ඔවුන්ගේ ඉංග්‍රීසි කැසට් පටයක්(රිකි මාටින්,mariah carey) හුවමාරු කර ගතිමි.
ලොකු සී ආර් පොතක් රැගෙන පැමිණි ලෝරා එය පුරවන ලෙස ඉල්ලා සිටියේය. කිසියම් මිතුරු සමාජයක නමක් තිබූ එහි මුල් පිටුවේ “සාමාජිකයින්ට පමණයි” යනුවෙන් සදහන් කර තිබුණි. සමේ වර්ණයේ සිට ඇස් වල වර්ණය දක්වා ප්‍රශ්න 15 පමණ තිබූ එය මම දැක්කේ පොඩිවුන්ගේ විකාරයක් ලෙසයි.
එය පිරවීමෙන් පසුව මට පොකට් කැලැන්ඩරයක තරමේ කාඩ් පතක් දුන් ඇය “අපි බඩු ගන්න කඩේ අංකල්ගේ නමත් ලලිත් අපි ඔයාට ලාල් අයියා” කියන්ඩ දැයි ඇසුවේය.
නමනම් මොකක් කිව්වම මොකද? නමක් තියෙන්නේ වෙන්කරලා හදුනා ගන්ඩනේ, නැද්ද?

 පසුව ඔවුන්ගෙන් සමුගෙන  කාමරයට පැමිණි මා නැවත ඔවුන් මට දුන් කාඩ් පතේ මගේ පෙට් නේම් ලෙස “ලාල්” යයි සදහන් කර ඇති බව දුටුවෙමි. පහළවී ඇති දූත ලක්ෂණ අනුව හාවා කැලයෙන් එළියට විත් දඩයක්කාරයාගේ දෙපතුළ ඉදිරිපිට සිටගෙන සිටින බව මගේ ටියුබ් ලයිට් මොළයටද වැටහිණ.

                   ---
                    -- -- -
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව : - තොට පිස්සුද මේ වගේ රට කෙල්ලෙක් එක්ක  
                                                   යාළුවෙන්ඩ?
හදවත                                  :- කෝමද මල්ලී සුද්දියෙක් එක්ක යනකොට, මාර ගැමම   
                                                නේ
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව :- මිනිස්සු උබට හිනාවෙයි, ලජ්ජා නැද්ද බං
හදවත                                   :- බලපන්කො කෙල්ලගේ කඩුව සට සට ගාල නෙලන
                                               හැටි,පාර්ටියකට,ඕනෙ තැනකට එක්ක යන්ඩ පුළුවන්
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව :- ඔය කලිසන් අදින ගෑණු අපිට හරියන්නේ නැ,
                                                අඩුගානේ පෝය දවසකට පන්සලකටවත් එක්ක
                                                ගියහැකිද?
මම දවල්  සිහින දකින්නෙක් වීමි. දිළිසෙන කළු අශ්වයෙකුගේ පිටේ නැගි මා මල් ගොමු අතරින් තුරු වදුල කට සෙමින් අසු පැන්නුවෙමි. තුරු අතරින් ඈතින් දිය ඇල්ලක ශබ්දයක් හා සුදු ඇදගත් ලෝරාගේ රුව දිස්විය,සැඩ හිරුරැස් වැටී  ඇයගේ වරළස රත් පැහැවී තිබුණි.ඇය අසු මතට ගැනිමට අත දිගු කලා පමණි.....
“අය්යේ මැඩම් කථා කරනවා”
“මොකද බං මම එන්නම්” මල කරුමයක්නේ උදේ පාන්දරට ටිකක් නිදාගන්ඩවත් නෑ කියල ඔරලෝසුව දිහා බැලුවා මලා නමයයි.
ගුඩ් මෝනින්, මොනවහරි ප්‍රශ්නයක්ද” අනිවා ගින්නක් තමයි.
“මේ බලන්ඩ (වීදුරුවකට ගත් සාම්පලයක් පෙන්වමින්) මේ සත්තු සොයියා වලින් මයිසිස් වලට හැරිලා, උදේ ආර්ටිමියා දීල නෑ, මේ සත්තු දුර්වලයි, වැඩ කරන අයගෙන් ඇහුවම කියනවා මේකට ආර්ටිමියාදාන්ඩ කිව්වේ නැහැල්ලු ”
යකෝ මටද අද උදේ ටැංකි බලන්ඩ තිබුණේ මම හිතනවා. හරි නේන්නම් ඊයෙත් මම උදේ බැලුවේ නැහැනේ.
අපි දෙන්නා දවසක් ඇර දවසක් උදේට ටැංකි බැලුවේ. වැරැද්ද මගේ.
“ගෑණු ළමය ගැන හිතනවා වගේ” ලොක්කි හිනා වෙනවා හක හක ගාල, කට දෙපැත්තට ඇදිල මුක්කන් නහය තවත් ඇදිල හතරැස් මුණ ප්ලෑට් වෙනවා...
මම පව්.....
පොඩි එකාගේ උපන්දිනේට ආවම අහල දානව, ආවොත් අලියෙක් ගියොත් වචනයක් නේ...
මම බුද්දාගමේ හන්ද අකමැති වෙයිද? මෙහෙම හිතල මම කණ්නාඩියෙන් ප්‍රතිබිම්බේ දිහා බලනවා,මුණේ නම් අවුලක් නැ කියල පැණි හිනාව දාල මම ප්‍රතිබිම්බෙට කියනවා.
සිහින සාගරයක ගිලී වෙලී ටැපලී සති දෙකක් විතර ගතවෙනවා..අන්තිමට හදවතයි මශ්තිෂ්කයයි එකගතාවයකට එනවා “කසාද බදින්ඩ නෙවෙයිනේ යන්නේ යාළු වෙන්ඩනේ නොගැලපීමක් තියේනම් කථාකරලා අයින්වෙන්ඩ පුළුවන්නේ” කියන මතයෙන්.
උපන්දින පාටියට දවස් දෙකකට කලින් හවස් වරුවක ලොක්කි මට බටර් ගානවා. “හෙට උදේ මම ටැංකි බලන්නම් පොඩි උදව්වක් කරන්ඩ පුලුවන්ද”
දෙකක් නෑ මේ බටර් ගාන්නේ හෙටත් මීගමුවේ නැත්නම් වෙන්නප්පුවේ හරි යාළුවෙක්ගේ ගෙදර යන්ඩ, බොසත් කොළබ ගියානේ.
“මොකක්ද කරන්ඩ ඕනේ”
“අපේ අර අළුත් යාළුවන්ට එන්ඩ වාහනයක් හොයාගන්ඩ බැරි වෙලා , මෙහෙ හන්දියේ තියෙන වැන් එකකට කථා කරලා බලන්ඩ පුලුවන්ද”
මාව නිකන් අත්තටු දෙකක් ලැබිල එක පාරටම සට සට ගාල ගුවන් ගත වෙනවා වගේ දැනී නොදැනී යනවා..
“මෙහෙ ඉදල වාහනයක් අරං ගියොත් පාඩුයි නේද? මෙහෙ ඉදල ගිහිං ඇවිත් ආයෙත් ගිහිං දාල ආපහු එනකොට ට්‍රිප් හතරක්නේ” මගේ ටියුබ් ලයිට් මොළේ එරර් නැතුව වැඩ..
“මම හලාවතින් වෑන් එකක් අරං යන්නම්”
“ආ ඒක හොදයි”
ලොක්කි වැඩේ අනුමත කරනවා.
දවස් දෙකක් ගෙවෙන්ඩ යන කාලයක්, මගෙ හිතට ඉවසිල්ලක් නෑ. මම දකින දවල් සිහින වල සිමාවකුත් නෑ.
හදවතින්ම රොමැන්ටික් හීන බල බල ඉන්නකොට “මෂ්ඨිස්කයේ ලලාට කන්ඩිකාවේ න්යුරෝන ශයිල” පරණ කතන්දරයක් මතක් කරලා දෙනවා. කවුරුත් අහල තියෙන “ඇල්බට් අයිස්ටයින්” විදුදරයාට නගරයේ ජනප්‍රිය නිළියක් කරපු මංගල යෝජනාවක්.. 
“ඔබගේ බුද්ධිය ඇති මම වැනි රුවක් ඇති දරුවෙක් හදමුද” කියල නිළිය අහල තියෙනවා. ඒක ඒ මහා විදුදරයා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ “ඕකේ අනිත් පැත්ත උනොත් මොකද වෙන්නේ, මගේ වගේ කැත මුහුණකුයි ඔබගේ වගේ මෝඩ මොළයක් තියෙන දරුවෙක් ඉපදුනොත්”
අන්න ඒ වගේ පැතලි නහයක්, චීනෙක්ගේ වගේ පොඩි ඇස් දෙකක් තියෙන ළමයෙක් හම්බ උනොත්...........
ඒත් හදවතේ ඉන්න එකා ඔය තර්ක පිළිගන්නේ නෑ.........මේ වගේ අවස්ථාවක් මේ වගේ වාසනාවක් ආයේ ජිවිතේට එන්නේ නැ.......
අන්තිමේ බුද්ධිය, හදවතත් එක්ක කරන ද්වයන්ද්ව සටනෙන් පැරදිලා මෙහෙම කියනවා.
“කමක් නෑ යාළුවෙනවා විතරයිනේ, ගැලපීමක් නැත්නම් පස්සේ අයින් වෙයන්”
ඒ භයංකර මොහොත             
උදේ පාන්දරම නැගිටලා පාන්දර කිව්වට හතට හත හමාරට නැගිටලා නානකාමරේට ගිහිං සිතල වතුරෙන්  නාන්නේ “බෑක්ස්ට්‍රීට් බෝයිස්ලා” ගේ “අයි ඩෝන්ට් කෙයර් හු යු ආ” මරල තවත් ගායකයින්ගේ නම් නොදන්නා සිංදු කීපයක් කිසි අනුකම්පාවක් නැතුවම  මරනවා...
නාගෙන ඉවරවෙලා අළුතින් ගත්ත තඩි පොකට් තියෙන තද කොළපාට කලිසමයි, ලා කොළපාට ලොකු කොටු තියෙන කමිසෙයි ඇදගෙන බ්රුට්(සැර සුවදක් එන ආෆ්ටර් ශේව් එකක්) කමිසෙට හලා ගන්නවා.
බොසියි මහත්තයයි බරටම පාටියට ලැහැස්ති වෙනවා. ඌරු පැටියෙක් ගෙනැල්ල “බාබකිව්” කරනවා කිව්වට ගෙනත් තියෙන්නේ ඌරු මස්. දෙන්න එක්ක සිසන් කරපු මස් “බාබකිව් ස්ටික්” වල අමුණනවා. මම ගිහිල්ල එන්නං කිව්වම බෝසි අර කැත හිනාව දාල “ගුඩ් ලක්” කියනවා.
හැචරියේ ගේට්ටුව ළග ඉදලා ප්‍රධාන පාරට එනකං තියෙන කිලෝ මීටරයක් විතර දුර මිටර් සීයක දුරක් වගේ මට දැනෙන්නේ.
හලාවත ටවුන් එකෙන් බහින මම උදේට මස් හොදිත් එක්ක පරාට කන්නේ ලංගම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන මුස්ලිම් කඩේන්. වෑන් පාර්ක් එකේ විනීත මුහුණක් බලලා හයර් එක කථා කරන් වෙන්ඩ පෙම්වන්ති ලගේ ගෙදරට යනකොට දහයට විතර ඇති. වැල් දොඩම් ජුස් එකක් රියදුරු මහත්තයට දීලා මාත් එකක් බොනවා. කට්ටියම යන්ඩ ලැහැස්තියි, ඒත් වෙන්ඩ මාමා පෙන්ඩනැ.
 “තාත්තා එන්නේ නැද්ද” මම වෙන්ඩ ගැල්ලමයගෙන් අහනවා. ෆාම් එකේ වැඩ නිසා තම පියා කොහෙවත් නොයන බවත් අත් උදව්වට එන කොලුවා කෙරෙහි විශ්වාශයක් නැති බවත් ඇය කියනවා.
“ගිටාර් එකත් අරං යමුද” ඒ මම
“මට අමතක උනා” ලෝරා අයෙත් ගෙට ගිහිං ගිටාර් එක අරන් එනවා. මේ අවු අස්සේ පොඩි එකාට ඉස්සරහ සිට් එකට යන්ඩ ඕනේ කියල වෙන්ඩ නැන්දම්මත් එක්ක වලියක්.
“මල්ලි නගින්ඩ ඉස්සරහින්” කියලවත් කරගන්ඩ බැරි දෙයක්නේ කියල මං හිතනවා. ගෑල්ලමයා දෙවෙනි සිට් එකේ ජනේලේ පැත්තේ, ඇන්ටී දොර ළග සිට් එකේ ජනේලේ ළග, මම ඒ සිට් එකේම දොර ළග. 
අවුලක් නැ පේන මානයක හරි ඉන්නවනේ, ඒත් කොහොමද මෙව්වා එක අහන්නේ...

(හයියෝ මේක ඇදී ඇදී යනවා ලබන කොටසෙදිවත් අහනවා....)