Sunday 1 May 2016

හැචරියේ ටීම් එක හා ටීම් වර්ක් 02

පළමූ කොටස 



මෙම කථාවට වසර දහයකටත් වැඩි කාලයක් ගතවී ඇතත් සමහර සිදුවීම් කිසිදා අමතක නොවේ. මේ සියලුම දෙනාගේ සත්‍ය නම් බාවිතා නොකිරීමට සිතුවෙමි. විශේෂයෙන්ම අපේ පැන්සන් ගිය හමුදා නිලදරියාගේ නම පසු ගිය කොටසේද ඔහුට යෙදුවේ අන්වර්ථ නාමයකි. විමලේ අයියා මට බොහෝ හිතවත් විය. එහෙත් මට කළින් සිටි කාර්මික සහායක (ඇසිස්ටන්ට් ටෙක්නිසියන්) හා ඔහු අතර සිතල යුද්දයක් ඇතිවී තිබුණු බව සේවයට ගොස් ටික කලකින් දැන ගතිමි. එයට හේතු වී තිබුණේ අපේ බොසා සති දෙකකට විදේශ ගතවී තිබුණේ වැඩ පලේ සියළු කටයුතු මේ සහාය කාර්මික වරයාට පැවරීමෙනි. විමලේ අයියා සිතාගෙන ඇත්තේ සියළු වැඩ ඔහුට පවරා ලොක්කා විදේශ ගත වෙනු ඇතයි කියාය. ඒ සති අන්තයේ  කොල නිවස බලා යනවිට “විමලේ මම එනකම් වැඩපල බලාගෙන ඉන්න” යයි බොසා කියන නිසා විය යුතුය. ඇත්තටම විමලේ කරපු රාජකාරියක් නැත. ඔහු දවසට පැය දෙකක් වත් වැඩපළේ ගත කළේ නැත. එහෙත් හැචරි පටන් ගැනීමට පෙර පරිසර සංවිදාන පැමිණ ගමේ මිනිසුන්ගේ මොළ සෝදා තිබී ඇත. හැචරි නිසා මුහුදේ මාළු අඩු වන බවත් කඩොලාන විනාශ වෙන බවත් පවසා මිනිසුන් උසිගන්වා තිබියදී විමලේ අයියාගේ සහාය අපේ බොසාට බොහෝ වැදගත් විය. ඔහු ඒ කෙළෙහි ගුණය සලකා විමලේ අයියාට රැකියාවක් දුන්නේය. පසුව ගමේ මිනිසුන් අපි හා බොහෝ මිතුරු වුයේ ඉස්සන් කිලෝ එකක් විකුණා ගත නොහැකි මුදලක් අපි එක ගැහැණු ඉස්සෙකුට ගෙවූ බැවිණි .
 මේ සහාය කාර්මික යන පදය අපගේ වැඩ අතරත් කිසිම සමාන කමක් මට නොපෙනේ. කාර්මිකයන් යනු අඩු, යතුරු,මිටි සමග වැඩ කරන්නන් යයි සිතෙන බැවිනි. හැචරියේ මෙවැනි වැඩ කළේ අපේ දෙවෙනි බොස් ගේ මහත්තයාය.විදුලි කාර්මික වැඩ,පයිප්ප වැඩ හා සුළු වඩු වැඩත් ඔහු ඔහු මනාව ඉටු කළේය. ඉතා නිහඩ චරිතයක් වූ ඔහු මා සේවයට ගොස් ටික දිනකින්ම බොහෝ මිතුරු විය. පිලිපීනයේ මිනිසුන්ගේ ජිවිත ගැන බොහෝ දේ ඔහු මා සමග කිවේය. හැචරියේ ලොක්කා නැත්නම් ටෙක්නිසියන් වුයේ බයෝගස් මහත්මියයි. ඇය ෆිලිපිනයේ සාගර විද්‍යාව හදාරා පසුව කරදිය ඉස්සන් හා “මිල්ක් ෆීස්” මසුන් අභිජනන පුහුණු කිරීමේ ආයතනයක සහාය කථිකාචාර්ය වරියක් ලෙස සේවය කර ඇත. ඉතාමත් නිරහංකාර චරිතයක්වූ ඇය ක්ෂේත්‍රයේ අතදරුවෙකු වූ මට  තමා දන්නා සියළු කරුණු ගුරු මුෂ්ටි නැතුවම කියා දුන් බව මතක් කළ යුතුය.
අපේ රථාචාර්ය වුයේ විමලේ අයියා පදිංචිවී සිටි ගමේම සිටි අයෙකි. පැටවුන් සෑදීමට අවශ්‍ය මව් සතුන් ගෙන ඒමට යාම, වැඩ පලට අවශ්‍ය බඩු රැගෙන ඒම, බොසාගේ වයිපරය සමග ෂොපින් යෑම ප්‍රදාන කාර්යාලය ඇති කොලට සතියකට දින කිහිපයක් යැම වැනි කරුණුත් ලොක්කාගේ ඇල්ටෙසන් බල්ලා නැවිමත් හැරෙන්නට ඔහුට මහා බරපතල රාජකාරි නොතිබුණි. එහෙත් වැඩි කලක් ඔහු අප සමග සිටියේ නැත. විමලේ අයියා සමග සැමදාම හවසට බොන නිසාත් නොදන්වා සේවයට නොපැමිණීම නිසාත් ඔහුට සේවය අහිමි විය.
අප සමග දකුණේ මල්ලි කෙනෙකුත්(අපි සමන් ලෙස නම් කරමු), හමීඩ් නම් මුස්ලිම් තරුණයෙකුත් සේවය කළේය.සිමෙන්තියෙන් බැ ඇති ටැංකි පිරිසිදු කිරීම,ටැංකිවල වතුර මාරු කිරීම,කෑම දැමීම, ඇල්ගී කාමරයේදී මට උදව් කිරීම, ආටිමියා ටැංකි පිරිසිදු කිරීම, ටැංකි ආවරණ පිරිසිදු කිරීමට ඔවුන් අපට උදව් කළහ. හමීඩ් මෙන් නොව උත්සාහයෙන් වැඩ කළ සමන් මට බොහෝ ළෙන්ගතු විය. රාත්‍රී 11 න් පසු දැමිය යුතු කෑම වේල ඉතාමත් වැදගත් වන්නේ කුඩාම  පැටවුන් නම් කෑම නැත්නම් දුර්වල වෙන නිසාත් තරමක් විශාල සතුන් නම් (PL ලෙස හදුන්වන ඉස්සාගේ සාමාන්‍ය හැඩයට පරිවර්තනයවූ සතුන්) කෑම නැතිවූ විට දුර්වල සතුන් කෑමට පෙළබෙන නිසාත්ය. මේ නිසා රාත්‍රී කෑම යෙදීම අනිවාර්ය වේ. මෙවැනි කටයුත්තක් සදහා සමන් මල්ලි වැනි විශ්වාස වන්තයෙක් සේවයේ යෙදුවෙමි. නැත්නම් උදේ හයට පමණ ටැංකි බැලීමට එන බෝසි පාන්දරම මාව බයිට් එකට ගනී. රාත්‍රියේදී කෑම දමා ඇත්නම් කුඩා සතුන්ගේ නම් ගුදයේ සිට අගලක් පමණ දිගට සිහින් නූල් කැබැල්ලක් වැනි මල අපද්‍රව්‍ය දක්නට ලැබේ. සතුන් නිරීක්ෂණය කරන ආකාරය පසුවට.
 එහෙත් හමීඩ් ටික කලකින් අස්වී ඔහුගේ නිවසේ සිට යාහැකි රැකියාවකට ගියේය. අ.පො.ස. සා.පෙළවත් සමත් නොවී සිටි ඔහු වැඩ කිරීමට කැමැත්තක් නොදක්විය. ඔහු ආසා කළේ ටයි පොල්ලක් බෙල්ලට හිර කරන් ඔෆිස් එකක පුටුවක හිදගෙන කරන ඔහුගේම වචනයෙන් කියනවා නම් “වයිට් කලර් ජොබ්” එකකටය. උදේ සිට හවස් වනතුරු හිටගෙන, ටැංකි වල බැසගෙන කරන මේ රැකියාවට ඔහු අකමැතිවිය. එයට හාත්පසින්ම වෙනස් චරිතයක් වූ මම පැවරු වැඩ අවසන් කර අන් අයටත් උදව් කළෙමි. සවස පහ පමණ වන විට තම වැඩ කොටස අවසන් කරන හමීඩ් බයිසිකලයත් ගෙන හංදියට හෝ මිතුරෙක් හමුවීමට යයි. වැඩ ඉවරවූ පසු තවමත් බහ තෝරන වියේ සිටින පිලිපින් යුවළගේ පුතා සමග කාලය ගතකිරීම මගේ දින චර්යාවේ කොටසක් විය. විමලේ අයියා හා මේ පොඩි එකාගේ කථාවක් මතක් වනවිට දැනුත් මට මුවගට සිනහවක් නැගේ.
දිනක් පදමට වෙරිවී හවස වැඩට පැමිණි විමලේ අයියා පොඩි දරුවා හා අප සිටි දෙසට පැමිණ ඔහුගේ නම කියා නම මොකක්ද අසයි. මෙන්න මේ වගේ “සපුමල් වට් ඊස් යුවර් නේම්”.. අපි සියළු දෙනාට මෙය සිනහවට කාරණයක් වුවත් විමලේ අයියාට එය නොවැටහිණ.

 මුළ ඉදලම පටන් ගමු
එහෙමනම් දැන් අපි මුළ ඉදලම වැඩේ පටන් ගමු. පොස්ට් එක දිග වැඩි වන නිසා ගොඩනැගිලි වල පිහිටීම ගැන වැඩි විස්තරයක් කිරීමට යන්නේ නැත. නමුත් මුහුද ආසන්නයේ පිහිටීම අනිවාර්ය වන්නේ ලවණතාවය 32 – 35 පමණ ජලය මව් ඉස්සන්ට අවශ්‍ය බැවිණි. එසේම මුහුදු ජලය ගබඩා කර තබා ගත හැකි විශාල ටැංකි තිබීමත් අනිවාර්ය වේ.
ජලයේ ඔක්සිජන් මට්ටම ප්‍රසස්තව පවත්වාගෙන යාමටත් , සතුන්ගේ අපද්‍රව්‍ය මගින් ජලයේ තත්වයට සිදුවන අවම කර ගැනීමටත්, පැය විසි හතර පුරා හොද වායු සැපයුමක් අවශ්‍ය වේ. ඇත්තෙන්ම බ්ලෝවර් මගින් නළ හරහා එන්නේ ඔක්සිජන් නොව සාමාන්‍ය වායුවයි. එහෙත් ටැංකි තුළ ඇති “එයාර් ස්ටෝන්” නමැති ගල් විශේෂය හරහා වායුව ජලයට මුදාහරිමේදී කුඩා වායු බුබුළු මතුපිට ජල පෘෂ්ඨය කැලබිම නිසා පරිසරයේ ඇති ඔක්සිජන් ජලයේ දියවේ. අපි අල් දෙකේ “ත්‍රි ෆේස්” බ්ලොවර් දෙකක් බාවිතා කළෙමු. පැය දොළහක් එකක් හා අනෙක ඉතිරි පැය දොළහක කාලයටත්ය.
මේ සියළුම උපකරණ මළ නොබැදෙන ලෝහ වර්ගයකින් තනා ඇත්නම් හොදය. වාරකන් කාලයට එන වියළි සුළගේ ලුණු සාන්ද්‍රණය ඉතා වැඩිය. එම කාලයට හවස් වරුවේ රෙදි වේලෙන්නට දැමුවොත් ඇදුම් වල ලුණු තැන්පත්වී ඇති අයුරු දැක ගත හැකිය.
“ස්ටොක් ටැංකි” වල ඇති ජලය පිරිසිදු කර ගැනීමට පෙරණ පද්දතියක් අත්‍යවශ්‍යයි. ජලයේ ඇති බැර ලෝහ ඉවත් කිරීමට “ඇක්ටිවෙටඩ් කාබන් හා වැලි” යෙදූ ෆිල්ටරයක්, පසුව “කාට්රේජ්” ෆිල්ටරයක් මගින් ඇල්ගී(ඒක සයිලික දියසෙවල විශේෂ) ඉවත් කිරීමත්, UV ෆිල්ටරයක් මගින් අහිතකර බැක්ටීරියා වර්ග හා ඒක සයිලික ජීවින් විනාශ කිරීමත් අත්‍යවශ්‍යයි.
මව් ඉස්සෝ
පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා දේහ ප්‍රමාණයෙන් කුඩාය. වැඩුණු පිරිමි සතෙකු අගල් 8ක් 10ත් අතර වේ. ගාත්‍රා වරල් අතර ඇති බාහිර  ලිංගික අවයවය(කුඩා ගැටිති දෙකක් වැනි) හදුනා ගැනීම පහසුය.
ගැහැණු සතුන් සාපේක්ෂව දේහ ප්‍රමාණයෙන් විසාලය. පිරිමි සතුන්ට වඩා අව පැහැතිය, බාහිර ලිංගික අවයවයෙන්ද හදුනා ගත හැක. පිරිමි සතුන්ට වඩා සෙමින් පිහිනයි. හොදින් වැඩුණු සතෙක් අගල් 12ක් පමණ දිග ඇත.
සතුන් රැක බලා ගැනීම
අදුරු පරිසරයක කළු පැහැ ආලේප කළ විශාල සිමෙන්ති ටැංකි (ලීටර 7000 ක පමණ දාරිතාවයක් ඇති) වඩා සුදුසුයි. කොපමණ පැටවුන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්න මත මිලදී ගත යුතු සතුන් ප්‍රමාණය රදා පවතී. හොදින් වැඩුණු ගැහැණු සතෙකු බිත්තර ලක්ෂ 5හෙ සිට ලක්ෂ 15ක් අතර ප්‍රමාණයක් එක වරකදී දමයි. නමුත් මෙයින් පැටවුන් බිහිවන්නේ 80% පමණි.
මව් සතුන්ගේ  කෑම ලෙස දැල්ලන්, පීකුදු, කෘතීම ආහාර යන මේ තෙවර්ගයම දිනකට තුන් වරක් දිය යුතුය. දිනපතා පරණ ජලය ඉවත් කර අළුත් මුහුදු ජලය ටැංකි වලට යෙදිය යුතුය. මෙහි ලවණතාවය 31 -34 අතර පවත්වා ගත යුතුය. ජලයේ ලවණතාවය මැනීමට “රිෆ්රෙක්ටෝ මීටරය” බාවිතා කරයි. සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නා මව් ඉස්සන් දින කිහිපයක් මෙසේ හොදින් ආහාර ලබාදී තබා ගත යුතුය. පසුව ගැහැණු සතුන්ගේ එක ඇසක් කපා ඉවත් කරනු ලැබේ. මෙයට හේතුව වන්නේ කෘතිමව ඉක්මණින් බිත්තර ලබා ගැනීමයි. ඇස ඉවත් කළ ගැහැණු සතුන්ගේ බිත්තර සතියකින් පමණ හොදින් වර්දනයවී ඇතිබව දැක ගත හැක. ඒ සදහා ජලය තුළ බාවිතා කළ හැකි විදුළි පන්දමක් හෝ විදුලි පන්දමක මුහුණත ප්ලාස්ටික් බටයකට සවිකර සාදා ගන්නා උපකරණයක් යොදාගෙන පරික්ෂා කළ යුතුය. මෙසේ හොදින් මේරු බිත්තර ඇති සතුන් සවස් කාලයේ බිත්තර දැමීමට වෙන්කර ඇති ටැංකි වලට දැමිය යුතුය. මේ සෑම ටැංකියකම හොද වායු සැපයුමක් තිබීම අත්‍යවශ්‍යවේ. ජලයේ ඇති බැර ලෝහ ඉවත් කිරීමට සෝඩියම් අඩංගු රසායන ද්‍රව්‍යක් යොදයි.
බිත්තර දැම්මම කොහොමද හොයා ගන්නේ ලබන සතියේදී බලමු.






31 comments:

  1. ඇස් කපන කතාව අදයි දන්නෙ......හැක් හැක්.....දිගටම ලියමු ........ජය...

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් ටෙක්නික් තියෙනවා ඒවත් පස්සේ ලියන්නම්.

      Delete
  2. ලේසි නෑ ඒ වැඩෙත්..ඇහැ අයින් කරන එක කොහොමද බලපාන්නෙ මචං?
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සාගේ පරිණත වීමට බලපානවලු. ඇහැ කැපුවම බිත්තර ඉක්මනට හැදෙනවා.

      Delete
  3. ඇහැක් හැටියට ඇහැ කපනව වගේ...

    ReplyDelete
  4. ඔය ජපනෙකුට අයිති වෙලා තිබ්බා එක නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ, මේක ලංකාවේ කෙනෙක්ගේ, වැඩ කරපු ටෙක්නිසියන් පිලිපින්.

      Delete
  5. ඇහැ කපන්නෙ කෝමද අඩේ.. එකා ගාණෙ කීයකගෙ කියල කපන්නද
    හෆොයි

    ReplyDelete
    Replies
    1. ඊළග පොස්ට් එකේදී මේ ගැන තව ටිකක් විස්තර ලියන්නම්.

      Delete
  6. මචං ඇහැ කපන්නෙ ඉස්සාට වැඩේ ලේසි වෙන්න නේද ?? මට එකෙක් කිව්වා එක ඇහැක් අයින් කලාම ඉස්සිට පේන ඈංගල් එක අඩුයි එතකොට ඉස්සට පිටිපස්සෙන් ඇවීල දර්ශනේ දාන්න ලේසියි නැත්තං ඉස්සි පනිනව කියල. ඒක ඇත්තද බං ??

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලිත් දන්න ජාති. ඉස්සන්ගේ ලව් සින් හරි රොමැන්ටික්. මුලින්ම දෙන්න එක ළගින් පීනනවා. පස්සේ පිරිමිසතා පිට උඩ නැගල වටයක් දෙකක් පීනනවා. පස්සේ ගැහැණු සතාගේ ඇග හරහා වෙලිලා තමයි සංසර්ගයේ යෙදෙන්නේ.

      Delete
  7. ගොඩ දවසකට පස්සේ ආවේ මචං.
    ඉස්සගේ මොලේ තියෙන්නේ අශුචි කියන කතාව ඇත්තද බං

    ReplyDelete
    Replies
    1. කොහෙද මචං ගිහින් හිටියේ, ඒ කතාවනම් ඇත්ත නෙවෙයි. මම ලබන පොස්ට් එකේදී ආහාර ජීරණ පද්දතියේ පින්තුරයක් දාන්නම්.

      Delete
  8. පාඨමාලාව පටන්ගත්තා විතරයි නෙ? දැන් කොහොමද සර් ගාස්තුව ????

    ReplyDelete
    Replies
    1. ඔය ළමයවගේ ඉගෙන ගන්න අයට මම ගාස්තු අය කරන්නේ නැ, දිගටම එන්න.

      ඔයාගේ ප්‍රස්නෙන් මට පරණ කථාවක් මතක් උනා. දවසක් සබරගමුවේ කැම්පස් ළමයි වගයක් එනවා කියල තිබුණ. හැමෝම මග ඇරලා ගියා, එන අයට වැඩි දෙයක් පෙන්වන්ඩ එපා කියල. ඒකත් පස්සේ ලියන්නම්.

      Delete
  9. ඔතන වැඩ කලාද ප්‍රසන්න කියලා කෙනෙක්? කොටියාකුඹුර පැත්තේ

    සුළු පරිමාණයෙන් මේ ව්‍යාපාරය කරන්න අමාරුද?

    ReplyDelete
  10. එහෙම කෙනෙක් හිටියේ නෑ, මාතලේ පැත්තේ රියදුරෙක් මාස කිහිපයක් වැඩකරා. සුළු පරිමානයෙනුත් කරන්ඩ පුළුවන්, ඒත් මුලික දේවල් තියෙන්ඩ ඕනේ, බ්ලොවර් එකක්, ටැංකි, ඇල්ගී වවන්ඩ ඒ සී කාමරයක්.

    ReplyDelete
  11. පාඩම නම් නියමයි. active කාබන් කියන්නේ පොල් කටු අගුරු වලට නේද?

    ReplyDelete
  12. //සපුමල් වට් ඊස් යුවර් නේම්//
    මගේ ඉන්ගිරිසිත් මේ වගේ තමයි. ඉන්ගිරිස් වලින් පෝස්ට් දාන ඈයොන්ට කියන්න වෙන්නෙ ඉතිං ඒව කියවන්නෑ කියල තමයි.

    ටීචර් ටීච මේ අයි ගෝ යු ද ටොයිලට් ගිහිං එන්නං කියල තමයි පොඩි කාලෙත් ඇහුවෙ. හිකිස්

    ReplyDelete
    Replies
    1. අපේ පුතත් කියන්නේ ඔය විදියටම තමයි..

      Delete
  13. ආටිමියා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මේක සජීවී ආහාරයක්. විසිතුරු මාළු හදන අය දෙන්නේ සජීවී කුඩා පණුවන්.මේ ගැන විස්තර පසුවට ලියනවා. මේ කෑම දෙන්නේ ඉස්සාගේ ජිවන චක්‍රයේ මයිසිස් අවස්ථාවේ සිටයි. එතෙක් ඔවුන් ශාක බක්ෂකයින්.

      Delete
  14. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඉස්තුති ඔබට :) දිගටම එන්නම් මේ පැත්තේ.

    ReplyDelete
  15. මමත් හෙන ආස ෆීල්ඩ් එකක්.ඒත් කවදාවත්ම සම්බන්දවෙලානම් නෑ. නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා.

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආසාවෙන් කරපු ජොබක්. දිගටම ඇවිත් අඩුපාඩු කියන්න.

      Delete
  16. එල එල ඉස්සෝ විකුන්නට අදනේ දාන්නේ උන්ගේ ජාතකේ

    ReplyDelete
    Replies
    1. කොහෙද මචන් කඩේ තියෙන්නේ?

      Delete
  17. නියමයි. කවුරුත් ලියල නැති පැත්තක්

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න