Thursday, 16 June 2016

හැචරියේ අතුරු කථාවක් - 03 වන කොටස



හැචරියේ අතුරු කථාවක් 01
හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටස

හයියෝ කිසි දෙයක් මතක් වෙන්නේ නෑනේ කතා කරන්ඩ,උගුර කට වේලිලා හින්දාඩ්යයි, මහදාඩ්යයි දෙකම එකට දානවා,පපුවෙ ලබ් ඩබ් සද්දේ ක්‍රමයෙන් වැඩි වෙලා හංදියේ රෙකෝඩ් බාර් එකේ බෆල් වල සද්දේ ගානට ඇහෙනවා.
“ ශකිරගේ කැසට් තියෙනවද” මේ මං යන්තම් වචන දෙකක් ගැට ගහ ගත්ත.
“තියෙනවා ගෙදරදී කිව්වනම් දෙනවනේ” හයියෝ ගෙදරදී ඕව මතක් වෙනවයි..
“ටිනා ටර්නර්ගේ සිංදු අහන්නේ නැද්ද”
“අහනවා, මොනවාද බලන ෆිල්ම්ස්”
“ඇක්ෂන් ,රොමැන්ටික් කථා හැබැයි සතුටුදායක අවසානයක් තියෙන ඒවාට තමයි කැමති”
කයිය ගහන්ඩ ගිහිං මගේ බෙල්ලත් උළුක් වෙනවා, ඇයි යකෝ මේ ඇන්ටියට බැරිද කියන්ඩ “පිටිපස්සේ සිට් එකෙන් ඉදගෙන කථා කරන්ඩ පුතා කියල...ශිහ්,,,,
නළුවන්ගේ නිළියන්ගේ,ගායක ගායිකාවන්ගේ කථා වලින් වෑන් එක වැඩ පලේ ගේට්ටුව ළගටම ඇවිත්.
“හෝන් එක පොඩ්ඩක් ගහන්ඩ සිකියුරිටි ඇති” එහෙම කිව්වත් මම දන්නවා දැන්නම් විමලේ අයියා හිටියත් ගේට්ටුව අරින්ඩ එන්නේ නැති බව.
මමම ගේට්ටුව අරිනවා, හිතෙන් අරුට බැන බැන.
ඊට පස්සේ කට්ටියව පිළිගැනීම, උම්මා දීල, වැඩක් නැ, උම්මා දෙන්නේ අහකට නිකම් කම්මුල් දෙක හප්පලා බදා ගන්නවා,පිරිමින්ට උම්මා නෑ...මෙලෝ රහක් නෑ,බලාගෙන ඉන්න මම හිතනවා..
ඔන්න දැන් කට්ටිය කේක් කපන්ඩ යන්නේ, “ෆොටෝ එකක්  ගන්ඩ පුළුවන්ද” බෝසිගේ මහත්තයා එයාගේ පොටෝ ගැහිල්ල මට බාර දෙන්ඩයි යන්නේ,
මුළින්ම වැඩ කෑලි ටික බලාගෙන ඉන්ඩ එපැයි, ඔටෝ පෝකස්, රීල් එක ඔටෝ ලෝඩ් වෙනවා, පිටිපස්සේ තියෙනවා දිනේ වදින එක වැටෙන  පොඩි  ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. ඒකට පහළින් තියෙනවා පොඩි බටන් තුනක් ඩිස්ප්ලේ එකේ දිනේ එජස් කර ගන්ඩ. 135 කොනිකා හෝ නිකෝන් කැමරාවක්. මමත් ආසාවෙන් පොටෝ කීපයක් ගැහුවා. ලොක්කි හැමෝම ඉස්සරහා (වෙන්නප්පුවේ පවුල් දෙකයි,මීගමුවේ නැවතිලා ඉන්න තුන්හතර දෙනෙක් - බයින් ඔෆිස් එකේ වැඩ කරන අය) මම ගැන වර්ණනාවකුත් කරා, විශ්වාසවන්ත,බියර්ටිකක් වත් බොන්නේ නැති(දෙන්ඩ එපයි බොන්ඩ) හරි හොද ළමයෙක්ය, අපිව නුවරත් එක්ක ගියාය කියල.
කෑම කාල සිංදු කියල ටික වෙලාවකින් යෝජනාවක් ආව මුහුදේ නාමු කියල, පස්සේ කීප දෙනෙක් නැවතුනා අව්ව සැරයි කියල මමයි, වෙන්නප්පුවේ කඩේ කපල් එකයි, මීගමුවෙන් ආව දෙන්නෙකුයි ලෝරයි එයාගේ මල්ලියි වෙරළට ගියා. අව්ව සැරයි අපි පොල්ගස් හෙවණට වෙලා චැට් එකක් දාගෙන හිටියා. සිරි ලාංකීය සුවාමි පුරුෂයින්ගේ ඉරිසියාකාරී කිරියාකලප, සෑම විටම වයිපරයව යටත් කොටගෙන සිටිනවා වගේ සම්භාව්‍ය මඩ තමයි මාතෘකා උනේ. වෙන්නප්පුවේ කඩේ අයියා තමන්ගේ පිලිපීන් බිරිදට එහෙම සලකන්නේ නැහැයි කියල තර්ක කරා. මමත් පුල් සපෝට් එක දුන්නා. ඔහොම විනාඩි කීපයක් ඉන්නකොට වැල්ලේ පොඩි එකෙක් මට කථා කලා.
“අයියේ නාන්ඩද හදන්නේ”
ඔව් අව්ව සැරයි ඒකයි ටිකක් හිටියේ, කොහෙද මල්ලි යන්නේ”
“මෝය කට කපලා ඒක බලන්ඩ යනවා”
මමත් කට්ටියව කැන්දගෙන(මීගමුවේ කියන්නේ එහෙමයි) මෝය කට පැත්තට ගියා.
වතුර පාර එච්චරම සැර නෑ ඒත් වතුර පාර හරහා ගියේ මමයි ලෝරයි මල්ලියි විතරයි, මගෙ හාට් එකයි කකුල් දෙකයි එකම බිට් එකකට ගැහෙන්ඩ ගත්ත,මේක තමයි හොදම අවස්ථාව කියල හිත කිව්වා. ලොරගේ මල්ලි සිප්පිකටු ඇහිදගෙන අපි දෙන්නගෙන් ටිකක් ඈතට ගියා.මුහුදු සුළගත් එක්ක පුරුෂ දහිරියත් එකතුකරලා හොද හුස්මක් අරගෙන පිටිපස්ස බලල සෙට් එක ඉන්නේ ඈත කියල ස්ථිර කරගෙන මලයටත් අපි කියන ඒවා ඇහෙන්නේ නෑ කියල ස්ථිර කරගෙන ආවොත් අලියෙක් ගියොත් වචනයක් කියල හිත හදාගෙන “ඔයාට යාලුවෙක් ඉන්නවද” කියල ඇහුවා.
“නෑ” කිව්වම “මම ඔයාට කැමතියි” කියල කිව්වා.
ඊට පස්සේ ලෝරා පොඩි හිනාවක් දාල මගෙ මුණට එබුණේ මේ අවන්කෙන්ම ඇහුවද කියල බලන්ඩ වගේ, ඒ හිනාව දැක්කම හිතේ තිබිච්චි විචිකිච්චාව කොහෙන්ගියා ද කියල නැතුව ගියා.
එතකොටම මලය ඇවිත් එයා අහුලපු සිප්පි කටු පෙන්නලා ඒගොල්ලන්ගේ බාසාවෙන් මොනවාද කිව්වා.
ටිකවෙලාවකින් අපි ආපහු ආව, මම මාර සතුටකින් හිටියේ, මුහුදට පැනල හැති වැටෙනකල් පීනන්ඩ නැත්නම් කෑගහල මේ විස්තරේ කියන්ඩ මට ඕනේ උනා.
අපි හැචරිය හරියට එනකොට කිහිප දෙනෙක්ම වැල්ලට ඇවිත් හිටියා, ලෝරගේ අම්ම, සිගරට් අක්කා(එයාගෙ නම අමුතුයි,ඒත් මල්බරෝ සිගරට් පැකට් එකයි ලයිටරෙයි අතේ තියෙන, එක සිගරට් එකකින් තව එකක් පත්තුකරන නිසා අපි අතර  මේ නම රෙජිස්ටර් උනා) තවත් දෙන්නෙක් හිටියා.
අපි ඈත එනකොටම කවුද මුහුදේ නාන්නේ කියල ලෝරගේ අම්ම ඇහුවා. ඒ වෙන කොටත් අපි වතුරට පැනලා ඉවරයි. අපි පැයක් විතර වතුරේ පීනලා වැල්ලට ගියා. ඒත් ලෝරගේ අම්මනම් තවම ගොඩට එන පාටක් නැ. මම ලොරගේ මල්ලිගෙන් ඇහුවා අම්ම හැමදාම මෙහෙම ගොඩක් වෙලා නානවද කියලා. එයත් පුදුමෙන් වගේ අම්ම දිහා බලාගෙන හිටියේ....
අපේ බොසි ඇවිත් තේ බොන්ඩ යන්ඩ කථා කරා, ඇන්ටිටත් කථා කරා. මොකක් හරි අමුත්තක් සිද්ද වෙලා තියෙන බව මට එයාලගේ මුහුණු වලින් පෙනුනා.
පස්සේ මල්ලි මට කිව්වා එයාලගේ අම්මගේ “බොරුදත් කුට්ටම” වතුරට වැටිලා හොයාගන්ඩ බැරුව තමයි මේ ගොඩක් වෙලා වතුරේ ඉදල තියෙන්නේ කියල. ඊට පස්සේ අපිත් ගිහිං වතුර යට හෙව්වා,රැළි වලට වෙරළට එයි කියල බලන් හිටිය ඒත් හම්බ වුණේ නෑ.
ටික වෙලාවකට පස්සේ මගේ සුබ ආරංචිය මම බොසිට කිව්වා, එතකොටම “මම කිව්වනේ කැමති වෙයි කියලා” කිව්වා.


“දැන් නැන්දට දත් දාගන්ඩ සල්ලි දෙන්ඩ” කියල ලොක්කි කිව්වා. යකෝ මටමයි වෙන්නේ. පව් කියලත් හිතෙනවා, දත් ටික නැතුව ඒ උන්දැගේ කථාවත් අඩුයි, සෝක මුඩ් ගහල හිටියේ. කමක්නෑ මේ වපුරන කාලෙනෙ කියල හිත හදාගෙන යන ගමන් හලාවත දත් බදින තැනකටත් ගිහිං ඒ වැඩෙත් ඉවර කලා. ඒත් මගේ එකවුන්ට් එකෙන් සල්ලි අරං වැඩේ ගොඩ දැම්මම ඉස්තුතියෙන් 75% ගියේ දෙය්යන්ට,(“oh..THANK YOU LORD”) ඕකනම් මට දිරවනවා මදි සත්තලන්. ග ර් ර් ර්..........

සතියකට විතර පස්සේ හවසක මගෙ ෆෝන් එකට කෝල් එකක් ආව,.........................................
තවත් මරාලයක්ද?....ලබන කොටසින් බලමු.....



Thursday, 9 June 2016

හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටස


නැවත හමුවිම
සති දෙකකට පමණ පසු නැවත මම මේ ෆිලිපින් පවුල සොයා ගියේ එකල දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ බැවිණි. බොසිගේ පුතාගේ උපන්දින සාදයට පැමිණෙන ලෙස ආරාදනා කිරිමට හා  හදිසි අවශ්‍යතාවයක් සදහා පණිවිඩයක් දීමට හැකි තැනක දුරකථන අංකයක් ලබාගැනීමත් මට පැවරුණි. හලාවත පොත් කඩයකින් දියසායම් පෙට්ටියක්,බ්‍රිස්ටල් බෝඩ්, මලයාට පාසැල් පොත් කිහිපයකුත් (චිත්‍ර ඇදීමට ගන්නේ සුදු පැහැති බෝඩ් පමණි, මා ගෙන ගිය ඒවා අතර තිබූ වෙනත් වර්ණ සහිත බෝඩ් ඔවුන් පසුව මාරු කරගෙන තිබුණි.) යනවිට රැගෙන ගියෙමි.
එදින අප බොහො වෙලාවක් කථා කරමින් සිටි අතර මගේ ඉංග්‍රීසි සිංදු ඇති කැසට් පටයකට(ශකිරා හා බැක්ස්ට්‍රීට් බෝයිස් ) ඔවුන්ගේ ඉංග්‍රීසි කැසට් පටයක්(රිකි මාටින්,mariah carey) හුවමාරු කර ගතිමි.
ලොකු සී ආර් පොතක් රැගෙන පැමිණි ලෝරා එය පුරවන ලෙස ඉල්ලා සිටියේය. කිසියම් මිතුරු සමාජයක නමක් තිබූ එහි මුල් පිටුවේ “සාමාජිකයින්ට පමණයි” යනුවෙන් සදහන් කර තිබුණි. සමේ වර්ණයේ සිට ඇස් වල වර්ණය දක්වා ප්‍රශ්න 15 පමණ තිබූ එය මම දැක්කේ පොඩිවුන්ගේ විකාරයක් ලෙසයි.
එය පිරවීමෙන් පසුව මට පොකට් කැලැන්ඩරයක තරමේ කාඩ් පතක් දුන් ඇය “අපි බඩු ගන්න කඩේ අංකල්ගේ නමත් ලලිත් අපි ඔයාට ලාල් අයියා” කියන්ඩ දැයි ඇසුවේය.
නමනම් මොකක් කිව්වම මොකද? නමක් තියෙන්නේ වෙන්කරලා හදුනා ගන්ඩනේ, නැද්ද?

 පසුව ඔවුන්ගෙන් සමුගෙන  කාමරයට පැමිණි මා නැවත ඔවුන් මට දුන් කාඩ් පතේ මගේ පෙට් නේම් ලෙස “ලාල්” යයි සදහන් කර ඇති බව දුටුවෙමි. පහළවී ඇති දූත ලක්ෂණ අනුව හාවා කැලයෙන් එළියට විත් දඩයක්කාරයාගේ දෙපතුළ ඉදිරිපිට සිටගෙන සිටින බව මගේ ටියුබ් ලයිට් මොළයටද වැටහිණ.

                   ---
                    -- -- -
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව : - තොට පිස්සුද මේ වගේ රට කෙල්ලෙක් එක්ක  
                                                   යාළුවෙන්ඩ?
හදවත                                  :- කෝමද මල්ලී සුද්දියෙක් එක්ක යනකොට, මාර ගැමම   
                                                නේ
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව :- මිනිස්සු උබට හිනාවෙයි, ලජ්ජා නැද්ද බං
හදවත                                   :- බලපන්කො කෙල්ලගේ කඩුව සට සට ගාල නෙලන
                                               හැටි,පාර්ටියකට,ඕනෙ තැනකට එක්ක යන්ඩ පුළුවන්
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව :- ඔය කලිසන් අදින ගෑණු අපිට හරියන්නේ නැ,
                                                අඩුගානේ පෝය දවසකට පන්සලකටවත් එක්ක
                                                ගියහැකිද?
මම දවල්  සිහින දකින්නෙක් වීමි. දිළිසෙන කළු අශ්වයෙකුගේ පිටේ නැගි මා මල් ගොමු අතරින් තුරු වදුල කට සෙමින් අසු පැන්නුවෙමි. තුරු අතරින් ඈතින් දිය ඇල්ලක ශබ්දයක් හා සුදු ඇදගත් ලෝරාගේ රුව දිස්විය,සැඩ හිරුරැස් වැටී  ඇයගේ වරළස රත් පැහැවී තිබුණි.ඇය අසු මතට ගැනිමට අත දිගු කලා පමණි.....
“අය්යේ මැඩම් කථා කරනවා”
“මොකද බං මම එන්නම්” මල කරුමයක්නේ උදේ පාන්දරට ටිකක් නිදාගන්ඩවත් නෑ කියල ඔරලෝසුව දිහා බැලුවා මලා නමයයි.
ගුඩ් මෝනින්, මොනවහරි ප්‍රශ්නයක්ද” අනිවා ගින්නක් තමයි.
“මේ බලන්ඩ (වීදුරුවකට ගත් සාම්පලයක් පෙන්වමින්) මේ සත්තු සොයියා වලින් මයිසිස් වලට හැරිලා, උදේ ආර්ටිමියා දීල නෑ, මේ සත්තු දුර්වලයි, වැඩ කරන අයගෙන් ඇහුවම කියනවා මේකට ආර්ටිමියාදාන්ඩ කිව්වේ නැහැල්ලු ”
යකෝ මටද අද උදේ ටැංකි බලන්ඩ තිබුණේ මම හිතනවා. හරි නේන්නම් ඊයෙත් මම උදේ බැලුවේ නැහැනේ.
අපි දෙන්නා දවසක් ඇර දවසක් උදේට ටැංකි බැලුවේ. වැරැද්ද මගේ.
“ගෑණු ළමය ගැන හිතනවා වගේ” ලොක්කි හිනා වෙනවා හක හක ගාල, කට දෙපැත්තට ඇදිල මුක්කන් නහය තවත් ඇදිල හතරැස් මුණ ප්ලෑට් වෙනවා...
මම පව්.....
පොඩි එකාගේ උපන්දිනේට ආවම අහල දානව, ආවොත් අලියෙක් ගියොත් වචනයක් නේ...
මම බුද්දාගමේ හන්ද අකමැති වෙයිද? මෙහෙම හිතල මම කණ්නාඩියෙන් ප්‍රතිබිම්බේ දිහා බලනවා,මුණේ නම් අවුලක් නැ කියල පැණි හිනාව දාල මම ප්‍රතිබිම්බෙට කියනවා.
සිහින සාගරයක ගිලී වෙලී ටැපලී සති දෙකක් විතර ගතවෙනවා..අන්තිමට හදවතයි මශ්තිෂ්කයයි එකගතාවයකට එනවා “කසාද බදින්ඩ නෙවෙයිනේ යන්නේ යාළු වෙන්ඩනේ නොගැලපීමක් තියේනම් කථාකරලා අයින්වෙන්ඩ පුළුවන්නේ” කියන මතයෙන්.
උපන්දින පාටියට දවස් දෙකකට කලින් හවස් වරුවක ලොක්කි මට බටර් ගානවා. “හෙට උදේ මම ටැංකි බලන්නම් පොඩි උදව්වක් කරන්ඩ පුලුවන්ද”
දෙකක් නෑ මේ බටර් ගාන්නේ හෙටත් මීගමුවේ නැත්නම් වෙන්නප්පුවේ හරි යාළුවෙක්ගේ ගෙදර යන්ඩ, බොසත් කොළබ ගියානේ.
“මොකක්ද කරන්ඩ ඕනේ”
“අපේ අර අළුත් යාළුවන්ට එන්ඩ වාහනයක් හොයාගන්ඩ බැරි වෙලා , මෙහෙ හන්දියේ තියෙන වැන් එකකට කථා කරලා බලන්ඩ පුලුවන්ද”
මාව නිකන් අත්තටු දෙකක් ලැබිල එක පාරටම සට සට ගාල ගුවන් ගත වෙනවා වගේ දැනී නොදැනී යනවා..
“මෙහෙ ඉදල වාහනයක් අරං ගියොත් පාඩුයි නේද? මෙහෙ ඉදල ගිහිං ඇවිත් ආයෙත් ගිහිං දාල ආපහු එනකොට ට්‍රිප් හතරක්නේ” මගේ ටියුබ් ලයිට් මොළේ එරර් නැතුව වැඩ..
“මම හලාවතින් වෑන් එකක් අරං යන්නම්”
“ආ ඒක හොදයි”
ලොක්කි වැඩේ අනුමත කරනවා.
දවස් දෙකක් ගෙවෙන්ඩ යන කාලයක්, මගෙ හිතට ඉවසිල්ලක් නෑ. මම දකින දවල් සිහින වල සිමාවකුත් නෑ.
හදවතින්ම රොමැන්ටික් හීන බල බල ඉන්නකොට “මෂ්ඨිස්කයේ ලලාට කන්ඩිකාවේ න්යුරෝන ශයිල” පරණ කතන්දරයක් මතක් කරලා දෙනවා. කවුරුත් අහල තියෙන “ඇල්බට් අයිස්ටයින්” විදුදරයාට නගරයේ ජනප්‍රිය නිළියක් කරපු මංගල යෝජනාවක්.. 
“ඔබගේ බුද්ධිය ඇති මම වැනි රුවක් ඇති දරුවෙක් හදමුද” කියල නිළිය අහල තියෙනවා. ඒක ඒ මහා විදුදරයා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ “ඕකේ අනිත් පැත්ත උනොත් මොකද වෙන්නේ, මගේ වගේ කැත මුහුණකුයි ඔබගේ වගේ මෝඩ මොළයක් තියෙන දරුවෙක් ඉපදුනොත්”
අන්න ඒ වගේ පැතලි නහයක්, චීනෙක්ගේ වගේ පොඩි ඇස් දෙකක් තියෙන ළමයෙක් හම්බ උනොත්...........
ඒත් හදවතේ ඉන්න එකා ඔය තර්ක පිළිගන්නේ නෑ.........මේ වගේ අවස්ථාවක් මේ වගේ වාසනාවක් ආයේ ජිවිතේට එන්නේ නැ.......
අන්තිමේ බුද්ධිය, හදවතත් එක්ක කරන ද්වයන්ද්ව සටනෙන් පැරදිලා මෙහෙම කියනවා.
“කමක් නෑ යාළුවෙනවා විතරයිනේ, ගැලපීමක් නැත්නම් පස්සේ අයින් වෙයන්”
ඒ භයංකර මොහොත             
උදේ පාන්දරම නැගිටලා පාන්දර කිව්වට හතට හත හමාරට නැගිටලා නානකාමරේට ගිහිං සිතල වතුරෙන්  නාන්නේ “බෑක්ස්ට්‍රීට් බෝයිස්ලා” ගේ “අයි ඩෝන්ට් කෙයර් හු යු ආ” මරල තවත් ගායකයින්ගේ නම් නොදන්නා සිංදු කීපයක් කිසි අනුකම්පාවක් නැතුවම  මරනවා...
නාගෙන ඉවරවෙලා අළුතින් ගත්ත තඩි පොකට් තියෙන තද කොළපාට කලිසමයි, ලා කොළපාට ලොකු කොටු තියෙන කමිසෙයි ඇදගෙන බ්රුට්(සැර සුවදක් එන ආෆ්ටර් ශේව් එකක්) කමිසෙට හලා ගන්නවා.
බොසියි මහත්තයයි බරටම පාටියට ලැහැස්ති වෙනවා. ඌරු පැටියෙක් ගෙනැල්ල “බාබකිව්” කරනවා කිව්වට ගෙනත් තියෙන්නේ ඌරු මස්. දෙන්න එක්ක සිසන් කරපු මස් “බාබකිව් ස්ටික්” වල අමුණනවා. මම ගිහිල්ල එන්නං කිව්වම බෝසි අර කැත හිනාව දාල “ගුඩ් ලක්” කියනවා.
හැචරියේ ගේට්ටුව ළග ඉදලා ප්‍රධාන පාරට එනකං තියෙන කිලෝ මීටරයක් විතර දුර මිටර් සීයක දුරක් වගේ මට දැනෙන්නේ.
හලාවත ටවුන් එකෙන් බහින මම උදේට මස් හොදිත් එක්ක පරාට කන්නේ ලංගම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන මුස්ලිම් කඩේන්. වෑන් පාර්ක් එකේ විනීත මුහුණක් බලලා හයර් එක කථා කරන් වෙන්ඩ පෙම්වන්ති ලගේ ගෙදරට යනකොට දහයට විතර ඇති. වැල් දොඩම් ජුස් එකක් රියදුරු මහත්තයට දීලා මාත් එකක් බොනවා. කට්ටියම යන්ඩ ලැහැස්තියි, ඒත් වෙන්ඩ මාමා පෙන්ඩනැ.
 “තාත්තා එන්නේ නැද්ද” මම වෙන්ඩ ගැල්ලමයගෙන් අහනවා. ෆාම් එකේ වැඩ නිසා තම පියා කොහෙවත් නොයන බවත් අත් උදව්වට එන කොලුවා කෙරෙහි විශ්වාශයක් නැති බවත් ඇය කියනවා.
“ගිටාර් එකත් අරං යමුද” ඒ මම
“මට අමතක උනා” ලෝරා අයෙත් ගෙට ගිහිං ගිටාර් එක අරන් එනවා. මේ අවු අස්සේ පොඩි එකාට ඉස්සරහ සිට් එකට යන්ඩ ඕනේ කියල වෙන්ඩ නැන්දම්මත් එක්ක වලියක්.
“මල්ලි නගින්ඩ ඉස්සරහින්” කියලවත් කරගන්ඩ බැරි දෙයක්නේ කියල මං හිතනවා. ගෑල්ලමයා දෙවෙනි සිට් එකේ ජනේලේ පැත්තේ, ඇන්ටී දොර ළග සිට් එකේ ජනේලේ ළග, මම ඒ සිට් එකේම දොර ළග. 
අවුලක් නැ පේන මානයක හරි ඉන්නවනේ, ඒත් කොහොමද මෙව්වා එක අහන්නේ...

(හයියෝ මේක ඇදී ඇදී යනවා ලබන කොටසෙදිවත් අහනවා....)


Sunday, 29 May 2016

හැචරියේ අතුරු කථාවක් 01

හැචරියේ අතුරු කථාවක් - 01 


රසික හිතවතුන්ගේ හා හිතවතියන්ගේ බලවත් ඉල්ලීම නිසා මේ හැචරියේ අත්දැකීම් වල අතුරු කථාවක් ලියන්නෙමි. ඇත්ත වශයෙන්ම හිතවතුනි මගේ බ්ලොගය කියවන මහ පිරිසක් නැති බව වැටෙන කමෙන්ට් කිහිපයෙන් ඔබට සක් සුදක් සේ පැහැදිළි වනවා ඇත. ඒත් වීඩියෝ දුර ඇමතුම් මගින් කරන තර්ජන ගර්ජන හමුවේ හා  හස්ත සඥයා  හමුවේ කථාව නොලියත් බැරිය. ලිව්වත් මං නසී නොලිව්වත් මම නසී මය...ඔන්නොහේ ඕනෙ ප්රෝටෝකොල් එකක් කියල මම ලියන්නට තීරණය කෙළෙමි.
එය වෙසක් පොහොය දිනයකි, සිකුරාදා දිනයක පොහොය දිනය වැටී තිබු අතර දින හතරක හෝ පහක දීර්ග නිවාඩුවක් තිබුණා මතකයි. හැචරියේද එතරම් වැඩක් නොතිබුණු කාලයකි. මේ වන විට අපට ෆිලිපින් යහළුවන් කිහිප දෙනෙක්ම හදුනා ගැනීමට හැකිවී තිබුණි. ඒ අතරින් මා වඩාත් කැමති වුයේ වෙන්නප්පුවේ මුදල් හුවමාරු ආයතනයක් පවත්වාගෙන ගිය “නිමන්ත” අයියා(මේ සත්‍ය නම නොවේ) හා ඔහුගේ ෆිලිපින් බිරිද ටයි. එවකට යහමින් මුදල් තිබුණු ඔවුන් බොහෝ සුහදශීලි නිහතමානීඅය වුහ. අනෙක් පුද්ගලයාත් පිලිපින් ජාතිකයෙක් වූ අතර ඔහු  පල්ලිවල (කතෝලික පල්ලි නොවේ) දේශනා පවත්වන සහෝදරතුමෙකි.
ඒ නිවාඩු දිනයේ උදේ අප වැඩ කරන ස්ථානයට පැමිණි මොහු(රොනී යයි හදුන්වමු) පිලිපින් පවුලක් ලංකාවේ හලාවත ආසන්නයේ සිටින බවට තොරතුරක් ලැබුණු බවත් ඔහු සමග ඔවුන් සොයා යෑමට මගේ උදව් අවශ්‍ය බවත් කිවේය. මටත් වැඩි වැඩක් නැති නිසා ගමනට එකතු උනෙමි.
නගරාන්තර බසයකට ගොඩවුන මම තවත් විස්තර ඔහුගෙන් ඇසුවේ හිතේ ඇතිවූ කුතුහලය නිසාය. ඔහු කියූ ආකාරයට මැදපෙරදිග එකම තැනක  සේවය කර ඇති ලාංකිකයෙකු වැඩි වැටුපක් ගෙවන බව කියා මේ පුද්ගලයා හා ඔහුගේ පවුලම ලංකාවට ගෙන්වාගෙන ඇත. එහෙත් ඔහුගේ කාර්මික වැඩපළ හෝ ගොවිපළ බංකොලොත්වී ගොස් ඇත.දැන් ඔවුන් කුඩා ගොවිපළක් පවත්වා ගෙන යන බවත් දැන ගන්නට ලැබුණි.
“බ්‍රදර් රොනී” හා මා ඔහුගේ මිතුරා කියූ කඩ මණ්ඩිය අසළින් බැස අතුරු පාර අසළ ඇති ත්‍රිවිල් රියදුරන්ගෙන් සුද්දන්ගේ ගොවිපලක්, පිලිපින් පවුලක් ගැන දන්නවාදැයි විපරම් කළෙමු. එහෙම කට්ටියක් අපි දන්නේ නෑ. ඔවුන් හැමගේ පිළිතුර විය.
“ගෙදරට යන පාර හරියට අහගන්ඩ එපැයි” කියා බනින්ඩ බැරි මේකා ලංකාවේ නොවන නිසාය. අනික ඒ පවුලේ ගෑල්ලමයෙක්ද ඉන්නවාලුය.
“කඩේකට ගිහිං තේ එකක් බිලා එමුද” අව්වේ සැරට දාඩියත් ගලනවාය.
කූල් කිරි පැකට් දෙකක් බොන ගමන්  කෙසේ හෝ අද මොවුන් සොයා ගත යුතු බව රොනී මා සමග කිවේය. මුදල් ගෙවා එළියට එනවාත් සමගම කොහේදෝ සිට පැමිණි ත්‍රිවිලරයක් කඩය ඉදිරි පිට නතර කළේය.
“කරුණාකරලා මේ රියදුරාගෙන් අහළ බලන්න” රොනී කියනවාත් සමගම මගේ හිතේ කිසියම් බලාපොරොත්තුවක සේයාවක් ඇදුණේ ඇයිදැයි නොදනිමි. වයස විස්සක පමණ වූ මොහුගෙන් මම විස්තර ඇසුවෙමි.
“ඔව් අයියේ මම දන්නවා ඒ අය මාත් එක්ක තමයි ටවුමට යන්නේ” මම කැඩිච්ච ඉංගිරිසියෙන් රෝනීට විස්තරය කීවෙමි. “දෙවියන්ට ස්තුති වේවා” ගත කටටම “බ්‍රදර් රොනී” කිවේය.
ඔහුට අනුව මේ ත්‍රීවිල් රථය ඒවා ඇත්තේ දෙවියන්ය.
පසුව අසල ඇති සිල්ලර කඩයකින් ගෙනයාමට අවශ්‍ය බඩු මිලදී ගත්තේ රොනිය. බඩු මල්ලත් ත්‍රිවිලයට පටවාගත්අපි අතුරු පාරේ කිලෝමීටර් කිහිපයක් ගොස් කැලයක් වැනි පැත්තට හැරුණි.
‘ත්‍රිවිල් මල්ලි ගේමකට සෙට් වෙනවද’ කියා මට සිත් විය.
“මේ කැලේ පාරක්නෙ” මම කියන විට
“මේ පාරේ ඒ ගෙදර අය විතරයි යන්නේ, මේක කළින් ලොකු ගොවිපොළක් දැන් අයිතිකාරයා වැඩිය එන්නේ නැ” ඔහුගේ පිළිතුර විය.
ටික දුරක් ගියවිට ඈතින් පෙනෙන බණ්ඩක්කා ගස් මහගොඩක් දැක්කෙමි.
“අව්වට බණ්ඩක්කා සරුවට හැදිලා” මට කියැවුණි.
“ඔය මේ පැත්තේ කැලේට හැදෙන ගස් ජාතියක්,වේලලා බෙහෙත් කඩවලට දුන්නෑකි”
බදර් රෝනිට සිංහල බැරිවීම ගැන මා දෙවියන්ට පින් දුනිමි නැත්නම් ඕකා මගේ සාමාන්‍ය දැනීම ගැන කියා කට්ටිය ඉදිරියේ  මාව බයිට් කරනවා සිකුරුය.

මීටර දෙසීයක් පමණ ගියවිට ලී කොට සිටවා කම්බි වලින් වටකළ වැටක් අසල ත්‍රිරෝද රථය නැවතු ඔහු ඈතින් පෙනෙන “little house on the prairie” කථාවේ නිවසට තරමක් සමාන නිවසක් පෙන්වීය. එසැණින් බල්ලන් රොත්තක් බුරාගෙන අප දෙසට වේගයෙන් දිව ආවේය. ඔවුන් පසු පසින් පාසලේ දහවෙනි පන්තියේ පමණ සිටින කොලුවෙකුගේ ජයාවක්ද දිස්විය.
“ඔය බුරාගෙන ආවට හපන්නේ නෑ” ත්‍රිරෝද රියැදුරා කිව් නිසා හදවතේ ගැස්ම ටිකක් අඩු විය.
බුරාගෙන පැමිණි බල්ලෝ වැට අසළ නතර විය.
කොලුවා නැවත පැමිණියේ ඔහුගේ මවත් සමගය. බදර් රෝනි සමග ඔවුන්ගේ භාෂාවෙන් මහත් සතුටින් කථා කළ ඔවුන් අපිව නිවසට කැදවා ගෙන ගියේ ත්‍රිරෝද රථ රියැදුරාට සවස 4 ට පමණ එනලෙස දැන්වීමෙන් අනතුරුවයි.
ප්‍රසන්න පෙනුමක් ඇති ඔවුන්ගේ පියා වැඩි කථා බහක් නැත. එහෙත් ඔවුන්ගේ මව ඔවුන් ෆිලිපිනයේ සිට පැමිණි ආකාරය හා  මේ දක්වා තොරතුරු නොනවත්වා කියාගෙන ගියේය. තම දුවට අලංකාර ලෙස චිත්‍ර ඇදීමට හැකි බවත්,කොළඹ පැවති චිත්‍ර තරගයකින් ජයග්‍රහණය කර ඇති බවත් පවසා මට එම තරගයෙන් ලද කුසලානයක් හා චිත්‍ර කිහිපයක් පෙන්වන ලෙස තම  දුවට කීවාය.
දිගු බෙල්ලක් හා එයටම ගැලපෙනසේ ඉහළට කර බැදී කොණ්ඩයක් තිබූ ඇය තමන් විසින් අදින ලද ච්ත්‍ර පෙන්වමින් එම චිත්‍ර ගැන එකින් එක කෙටි හැදින්වීමක් කළේය. ඇයගේ නම ලෝරා බව පසුව දැන ගතිමි.
නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රමෙල් මා සමග හොදින්ම මිතුරු විය. ඔහු හොදින් සිංහල කථා කළේය,එහෙත් ඔහුගේ මව හෝ පියා අප සමග සිංහලෙන් කථාකලේ නැත.
ඔවුන්ට ඌරු කොටුවක්, කුකුළන් කොටුවක්, එළුවන් හා හරකුන් කිහිප දෙනෙක් විය. දහවල් ආහාරයෙන් පසු ඉදිරිපස මිදුලේ ඇති බංකුවල හිදගෙන අප කථාකරමින් සිටිවිට
“අපේ අක්කාට හොදට ගිටාර් ගහන්ඩ පුළුවන්” යයි රමෙල් කිවේය. පසුව ඇය ගිටාරය වයමින්  මල්ලිද සමග “හොටෙල් කැලිෆෝනියා” ගීතය ගායනා කළේය. පසුව ඔවුන්ගේ පියා අප පුදුමයට පත් කරමින් දක්ෂ ගිටාර් වාදනයක් ඉදිරිපත් කළ අතර මා වඩාත් සිත් ගත්තේ අපගේ අත්පොළසන් මැදින් ඔහු ගිටාරය කර පිටුපසට ගෙන කළ වාදනයයි. මෙවැනි වාදනය කිරීමක් මම මීට පෙර දැක තිබුණේ එක වතාවකදී සංගීත සංදර්ශනයකදී පමණි.
සවස තේ පානයෙන් පසු අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත හැචරියට පැමිණියෙමු.
විස්තර ඇසීමෙන් පසු බෝසිට(අපේ ෆිලිපින් ටෙක්නිශියන්) ඔවුන් දැක බලා ගැනීමට මහත් උවමනාවක් ඇති විය. ඒ අතර මගේ වයස හරි බවත් මා ඒ කෙල්ලව කසාද බැදීය යුතුබවත් කිවේය.ඇගේ හස්බන්ඩාද එයට පොහොර එකතු කළේය.


 තුන්වෙනි කොටසකුත් ලියන්ඩ වෙයිද දන්නේ නෑ, පටන් ගත්තනම් අවසන් කරන්ඩත් එපැයි හා නැද්ද හා...

Sunday, 22 May 2016

5 වන කොටස ඉස්සාගේ ජීවන චක්‍රය


නර්සරි ටැංකි
ඉස්සාගේ ළදරු අවදිය ගෙවෙන්නේ හිරු එළිය නොවැටෙන ලෙස සකස් කළ ටැංකි වලයි. නමුත් පි එල් අවස්ථාවට පත්වී ටික දිනකින් හොදින් හිරු එළිය ලැබෙන විශාල නර්සරි ටැංකි වලට මාරු කරනු ලැබේ. සතුන් බාහිර පරිසරයට හුරු කිරීමට මුළින්ම ටැංකි වලට ඉහළින් කළු දැලක්(අන්තුරියම් වගාවේදී තද හිරු රශ්මියට  භාවිතා කරන කළු දැලක් ) යෙදීම සුදුසුය.
 පීඑල් වනතුරු මුහුදු ජලය ටැංකි වලට යෙදිය යුතුය. අප ජලය ලබා ගත්තේ වෙරළට ආසන්නව සෑදු නළ ළිද කිනි.මෙය සෑදීම ඉතා පහසු වන්නේ වැල්ලේ යට හැරීම ඉතා පහසු බැවිණි. විශාල ප්ලාස්ටික් බටයක හරස් කැපුම් යොදා වැලි පොම්පයක ආදාරයෙන් මේ බටය අඩි දහයක් පමණ යටට ගිල්ලවනු ලැබේ.මුලින්ම මේ ඇස්ලෝන් බටය  අඩි පහේ කැබලි වලට කපා එකිනෙක සම්බන්ද කළ හැකි ආකාරයට සදා ගතයුතුය.පසුව උදැල්ලකින් හැරිය හැකි උපරිමය හාරා ඇස්ලෝන් බටය එතුළට ගිල්ලවිය යුතුය.ඉන් පසුව වැලි පොම්පය බටය තුළින් දැමිය යුතුය. මේ වැලි පොම්පය අපි බයිසිකල් වලට හුලන්ගැසූ පොම්පයේ ක්‍රියා කාරිත්වයම ඇති එකකි.අගල් දෙක හමාරක පමණ විෂ්කම්බයක් ඇති යකඩ බටයක්  මැදින් පිස්ටනයක් වැනි අතින් ක්‍රියා කලයුතු කොටස ඇති අතර කෙලවරේ රබර් රවුම බයිසිකල් පොම්පයේ ලෙදර් එක සිහිකරවයි.යකඩ බටයට හා පිස්ටනයට වෙන වෙනම ලනු දෙකක් ඇත.යකඩ බටයේ ඇති ලනුව ආධාරයෙන් මෙය ඇස්ලෝන් බටය ඇතුළට දමා පිස්ටනයට ගැට ගසා ඇති ලණුවෙන් ඉහළ පහළ ඇදී විට යකඩ බටයට වැලි පිරේ. එවිට ඇස්ලෝන් බටය පහළට යයි.පසුව යකඩ බටයේ ඇති ලණුවෙන් ඇද එහි ඇති වැලි ඉවත් කළ යුතුය.  බයිසිකල් පොම්පයෙන් හුලං පිට කරන අතර මෙයින් හුලං  ඉවතට ඇදීමක් හා සමානව වැලි ඇතුළට ඇදගනිමත් සිදුවේ. ඒ නිසා පයිප්ප බටය පොළොවට කිදා බසී. මෙසේ අඩි හත අටක් ගියවිට බටයට ජලය ඇතුල් වන්නේ පෙර කි හරස් කැපුම් තුළිනි, පසුව වතුර මොටරයේ ප්‍රමාණයට සුදුසු බටයක් ඇතුල් කර වතුර ලබාගත හැකිය.
පැටවුන් විකිනීමට සුදුසු වන්නේ පි එල් 20 පමණ වූ විටයි. එවිට ලවණතාවය සෙමින් 25 දක්වා අඩු කල යුතුය. මේ සදහා කලපු ජලය(brackish water) හෝ බොන ජලය බාවිතා කල හැක. මෙහිදී පැයකට ලවණතාවය (salinity) එකක් වනලෙස අඩු කළයුතුය.
සෑම ටැංකියක්ම අංකනය කළ යුතුය. එසේම ජල ධාරිතාවද ටොන් වලින්(ලීටර් 1000ක් ටොන් 01යි) ටැංකි ඇතුළත පරිමාණය සටහන් කර තිබීම බෙහෙත් හා කෘතීම ආහාර නිවැරදිව යෙදීමට වැදගත්වේ.
නර්සරි ටැංකි වලට හොදින් වර්දනයවූ  ඇල්ගී ලීටර් 100ක් පමණ දහවල් කාලයේ යෙදීමෙන් වතුරේ පැහැය අදුරු කර ගත හැකිය. පසුව පරික්ෂා කිරීමේදී ඉස්සන්ගේ පැහැයත් අදුරුවී ඇති බව පෙනේ. බොහෝ මිලදී ගන්නන්(බයර්සලා) හා ඔවුන්ගේ පණ්ඩිත “ කන්සල්ටර්”ලා මේ කළු පැහැති සතුන්ට වැඩි කැමැත්තක් දක්වයි. එසේම ඔවුන්ට පැටවුන්ගේ කුඩා කාලය ගැනත් විස්තර දැනගැනීමට ඕනෑ වෙන අවස්ථාද ඇත.
“මුළින්ම මේ බැච් එකේ  කොච්චර නොප්ල්යි ස්ටොක් කරාද? කොච්චර සර්වායිව් (survive) උනාද?” තම හාම්පුතා ඉදිරියේ ඔවුන් කැටයම් දමති.
“අපේ හැම ටැංකියකම 70% වැඩි සර්වායිවල් රේට් එකක් තියෙනවා” අපේ උත්තරයයි.
සමහරුන්ට සතුන් බැලීමට ලීටර් පහේ බාල්දි වලට සාම්පල් දිය යුතුය. මෙහිදී ඔක්සිජන් බට ඇති ටැංකියේ  මැදින් සාම්පල් නොගත යුතුය.ටැංකිය මැද ඔක්සිජන් බුබුළු සමග පාවෙන්නේ  දුර්වල සතුන්ය. ටැංකි බිත්තියට ආසන්නයේ සිටින සතුන්ගෙන් සාම්පලයක් ගත යුතුය. පසුව ඔවුන්(උපදේශකයන්) අත දමා මේ බාල්දියේ වතුර එක පැත්තකට වේගයෙන් කර කවයි. සතුන් හොදනම් ඔවුන් මැදට ගුලි නොවී වතුර කැරකෙන දිශාවට විරුද්ද දිශාවට ගමන් කළ යුතුය.
සතුන් විකිණීමේදී අඩි 2.5 – 3 උස හා අඩි 1.5 පමණ පළල පොලිතින් උර වලින් සාදාගත් කවර වලට  ජලය හා සතුන් යොදා ඔක්සිජන් එකතු කර  පැකට් කළ යුතුය. මේ සදහා ඔක්සිජන් සිලින්ඩරයක්,එයට සවිකළ හැකි පීඩනය මැනීමේ උපකරණයක්,වායුව පිරවීමට බටයක් හා  රබර් පටි අවශ්‍ය වේ.
වයිරස් , බැක්ටීරියා,දිලිර හා පරපෝෂිත ජීවින්ගෙන් පැටවුන් රැක ගැනීමට බොහෝ වෙහෙස විය යුතුය. ආඩුනිකයන් සුදුසු වන්නේ මව් සතුන් රැකබලා ගැනීමට, ආටිමියා ටැංකි හා නර්සරි ටැංකි බලා ගැනීමටය. පළපුරුදු සේවකයන් බිත්තර ඇති ටැංකි හා සොයියා හා මයිසිස් ටැංකි බලා ගැනීමටත් ඇල්ගී කාමරය සදහාත් සේවයේ යෙදවිය යුතුය. පුද්ගල සනීපාරක්ෂාව හා අවට පිරිසිදුකමත් ඇතුල්වන ස්ථානවල කකුල් සේදීමට “ෆූට් බාත්” තිබීමත් එම ජලයට “කොන්ඩිස් කැට”(පොටෑසියම් පර්මන්ගනෙට්) ස්වල්පයක් දැමීමත් හොදයි. දෑත් සේදීමට පිරිසිදු ජලය හා සබන් බාවිතයත් සතුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට ගතහැකි හොද ක්‍රියාමාර්ගයකි.
ඉස්සන් අභිජනනයේ අභියෝග
ඉස්සන් කර්මාන්තයේදී විසිතුරු මසුන් අභිජනනය කරනවාට සාපේක්ෂව වැඩි වියදමක් දැරීමට සිදුවේ.  වයිරස් ආසාදන(සුදු පුල්ලි රෝගය) වැනි රෝග වැළදුන විට සතුන් විශාල ලෙස මිය යයි.හොද මව් සතුන් දුර්ලබ වීම, ඉස්සන්ගෙන් එකවර වැඩි පැටවුන් ප්‍රමාණයක් ලබා ගත හැකි උවත් මරණ අනුපාතය විසිතුරු මසුන්ට වඩා ඉතා වැඩිය. ලෙඩ රෝග හා වසරේ සමහර මාසවල මව් සතුන්ගේ හිගයත් ඉස්සන් වගා කරුවන්ගේ ක්‍රියා කලාපයත් (ෆාම් එකකට ලෙඩ සැදුණු විට ක්ලෝරීන් එකතු නොකොට ජලය මුදා හැරීම නිසා එම  ජලයෙන් අසල ඇති ෆාම් වලටත් ලෙඩ බෝවේ) මේ කර්මාන්තයේ දියුණුවට භාදාවක් වී ඇත. ඉස්සන් පොකුණු නිසියාකාරව නඩත්තු නොකිරීම, අස්වැන්න නෙළීමෙන් පසු පොකුණු සුදානම් නොකර නැවතත් පැටවුන් යෙදීම, පොකුණු හිමියන් අතර මනා සබදතාවයක් නොතිබීම නිසා ලෙඩ රෝග පුළුල්ව පැතිරේ.දියකාවන් පිළිහුඩුවන් වැනි කුරුල්ලන් හා කක්කොට්ටන් වැනි සතුන් නිසාද රෝග ව්‍යාප්තවේ. මේ වසර දහයකටත් වඩා පැරණි මතකයන් වන අතර වර්තමාන තත්වය වඩා යහපත්වී ඇතයි සිතමි.

ඉස්සන් අභිජනනය මෙයින් අවසන් වන අතර මෙහි අතුරු කථාවක්ද ලිවීමට සිදුවී ඇතිබව කණගාටුවෙන් උවද දැනුම් දිය යුතුය. මෙය ප්‍රේක්ෂක ඉල්ලිමක් වන අතර , මට කෙලවිමක්ද විය හැකිය.එම නිසා ඒ මගේ අවසාන පොස්ටුවද විය හැක.මේ ඉල්ලීම කරන ඇත්තිගේ පිංතුරයක් පහත එල්ලා ඇත.

 දන්නා අදුනන කෙනෙක් ඇත්නම් පොඩි ශේප්මන්ට් එකක් දාල දෙන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්ය. විචාරක තුමාගේ පොස්ටුවකට පත්තර මල්ලි දැමු කමෙන්ටුවක තිබුනාසේ “හෑන්ඩ් සිග්නල්” හා අනෙකුත් අනකිරීම් වලට අවනත වන්නේ හමුදා සෙබළුන් පමණක් නොව හස්බන්ඩෝද ඒ අතර සිටින බවයි . ලබන පොස්ටුවෙන් පසු “විචාරක” තුමාගෙන් ආරක්‍ෂිත හිස් වැසුමක්, “කළනේ” ගෙන් බොඩි ආමර් එකක් වත් ඉල්ලා ගැනීමට බලාපොරොත්තු වෙමි. “ගස් ලබ්බ”ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන්නේ ඌ කසාදයෙන් පසු හින්දි ෆිලිම් බලනවාය, අරකද,මේකද කියා පොස්ටුවක් ලියා තිබූ නිසාය. “කටුසු මලයා” කෙරෙහිද විස්වාසය තබා කටයුතු කළ නොහැක්කේ ඌ ඉන්නා සිටුවෙසෝන් එක අනුව “ඉතිං අක්කගේ කථාවත් හරිනේ”  කියා අර පැත්තට චන්දෙ දිය හැකි බැවිනි.

 “කතරගම හින්දු දෙවියනි ලබන පොස්ට් එකෙන් පසුව මාව රැකදෙනු මැන”.

Sunday, 15 May 2016

මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය, 4 වන කොටස

4 වන කොටස
 මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය

ඇල්ගී කාමරය
මා හැචරියේ ආසාවෙන් වැඩ කළ හා මගේ ප්‍රියතම  ස්ථානයයි, මොකද ෆුල් ඒ සි ය. අපි වර්ග කිහිපයක ඇල්ගී වගා කළෙමු. ඒ අතර ග්‍රීන් ඇල්ගී ස්පයිරෝලිනා හා ස්යිටෝසිරස් දුබුරු ඇල්ගී මුලික වේ. මුළින්ම මට ලැබුණේ ටෙස්ට් ටියුබයක ඇති ඇල්ගී පෙට්‍රි දිසියකට ගැනීමයි. මුලින්ම ඒගාර් මාද්‍ය සාදාගෙන එය පෙට්‍රි දිසි වලට දමා කාමර උෂ්ණත්වයට ආපසු ටෙස්ට් ටියුබයේ ඇති ඇල්ගී පෙට්‍රි දිසියට කුඩා කම්බියක් ආදරයෙන් දමනු ලැබේ. මෙය දින කිහිපයකින් වර්දනයවෙයි. පසුව එය වෙනත් පරීක්ෂණ නළයකඇති ද්‍රව මාද්‍යකට මාරු කරයි. පසුව මෙය තරමක්  විශාල විදුරු බෝතලයකට මාරු කරයි. තවත් දිනකින් මෙහි වර්ණය පරික්ෂා කර තද පාට නම්  ලීටරයක පමණ විදුරු බෝතලයකට මාරුකරයි.වර්ණය වැඩි වෙන්නේ ඇල්ගී හොදින් වැඩෙන නිසයි.යම් අවස්ථාවක මේ වර්දනය උපරිම මට්ටමකට පැමිණේ. එවිට වෙනත් ප්‍රමාණයෙන් විශාල  භාජනයකට මාරු නොකළොත් ඇල්ගී “කලෑප්ස්” වන අතර ටෙක්නිශියන් අපි සමග “ක්‍රෑෂ්”වේ. අවසානයේ ලීටර් 10 – 20 ප්‍රමාණයේ පොලිතින් කවර වල ඇල්ගී වැවීම සිදුකරයි. මෙම ඇල්ගී ඉස්සාගේ ජිවන චක්‍රයේ දෙවන හා තෙවන අවස්ථාවට ඉතා වැදගත් ආහාරයක් වේ.ලෙඩ රෝග වලින් තොර ක්‍රියාශීලි ශක්තිමත් සතුන් ඇති වීමටත්  ඔවුන්ගේ මරණ අනුපාතිකය අඩු වීමටත්  සතුන්ට ලබා දෙන ඇල්ගී වල තත්වය හා ප්‍රමාණය  බලපායි. එසේම ජලයේ තත්වය හොදින් පවත්වා ගෙන යාමටද(ඇමෝනියා ප්‍රමාණය, පි එච් අහය හොද මට්ටමක පවත්වා ගැනීමටත්) ඇල්ගී උපකාරීවේ..
එක්තරා කාලයකදී අපේ සියළුම ඇල්ගී “ක්‍රෑෂ්” විය. වතුරේ තත්වය මෙයට බලපැවා විය හැක. නැත්නම් අපි වර්දනයට ගත්තාවූ මුල් සාම්පලය(කල්චර් එක) පරණ වී තිබුනාද විය හැක. අල්ලපු හැචිරියත් සමග වැඩි ගනුදෙනුවක් නොතිබූ බැවින් ඔවුන්ගෙන් සාම්පලයක් ඉල්ලීමටද නොහැක.
ස්පයිරෝලිනා (ග්‍රීන් ඇල්ගී)

මහා සයුරේ ඇල්ගී මෙහෙයුම
පසුව අපි ෆිලිපින් ක්‍රමයට ඇල්ගී සොයා මහ මුහුදේ මෙහෙයුමක් අරබුවෙමු. මුළින්ම ලීටර් විස්සේ කෑන් දෙකක් ගෙන එයට අඩි දෙක හමාරක පමණ දිග වයරයක්  දෙකොනෙන් ගැට ගැසුවෙමු. මේ ආකාරයයේ සෙට් දෙකක් හදා ගත්තෙමු. එකක් මටය, අනෙක මෙහෙයුමේ නායක බෝසීගේ හබියාටය.මෙය ඈත මුහුදේ ටිකවෙලාවක් වතුර මත පාවෙමින්  සිටීමට උපකාරීවේ.  අගල් හතක පමණ විෂ්කම්බය ඇති අතන්ගුවක් හදාගත්තේ විශේෂ දැලකිනි(මෙය මයික්‍රෝන සියේ දැලක් විය යුතුය, දැන් මතක අමතකය)වෙරළේ සිට මීටර් පන්සියයක් පමණ දුරකට අපි පිහිනා ගියෙමු.ගංගාවල පිහිනා ඇතත් මුහුදේ මෙවැනි දුරක් පිහිනන විට සිතේ පොඩි චකිතයක් ඇති වුවේය.බඩ වටා ඇති වයරයේ ගැටයක් ගැලවුනොත් හෝ කෑන් එකකට වතුර පිරුනොත් අපි අනතුරේය. අතන්ගුව මගින් අප වතුරේ ඇති ඇල්ගී අල්ලාගෙන කුඩා බාජනයකට දමා ගත්තෙමු. ඇත්තෙන්ම මෙහිදී මට වැඩි දෙයක් කිරීමට නොදුන් බොසී ගේ මහත්තයා ඔහු තම රටේදී මාළු බාන ආකාරය මට විස්තර කර කිවේය.උදෑසන නවයට පමණ ආරම්බ කළ අපේ මෙහෙයුම අවසන් වුයේ පැය දෙකකට පමණ පසුය.
මුලින්ම මෙසේ එකතුකරගත් වතුරේ දුබුරු ඇල්ගී විශේෂය ඇත්දයි අන්වීක්ෂයෙන් පරික්ෂා කළෙමු.එවිට සියුම් වැලිකැට වැනි කිටෝසිරස් දුබුරු ඇල්ගී දුටුවෙමි. පසුව එම සාම්පලය ගෙන කුඩා ටැංකියකට දමා වර්දනයට අවශ්ය රසායන ද්‍රව්‍ය යෙදුවෙමු. දින කිහිපයකින් වතුර දුබුරු පැහැ වුයේ ඇල්ගී හොදින් වර්දනය වීම නිසයි. පසුව එයින් සාම්පලයක් ගෙන ඇල්ගී කාමරයේ වැඩ පටන් ගත්තෙමි.ටැංකියකත් හදන්ඩ පුලුවන්නම් ඒ සි කාමරයක් මොකටද කියා ඔබට සිතෙනවා ඇත. ඒත් හිරු එළියට නිරාවරණය වූ ටැංකි වල ඇති ඇල්ගී දිනක් දෙකක් ගතවූ විට විනාශවේ. කාමරයේ කුඩා බෝතල්,පොලිතින් උර වල සැදු සාම්පල ගොඩක් ඇති නිසා දෙක තුනක වර්දනය නැවතුනත් ගැටළුවක් නැත.

බිත්තර වලින් ආ නොප්ලයි පැය දොළහකින් පසුව සොයියා අවස්ථාවට පත්වේ.
මෙහිදී රවුම් හැඩ ඇති සතා සිලින්ඩරාකාර වෙන බැවින් පහසුවෙන් හදුනාගත හැක.මෙය අවදානම් අවස්ථාවක් වන අතර රූපාන්තරණය නොවූ සතුන් මියගොස් ඇති බව නිරීක්ෂණය කල හැක.දහවල් හා රාත්‍රියේ ටැංකියේ උෂ්ණත්වය එකහා සමානව පවත්වා ගත යුතුය. මේ සදහා ටැංකිය කළු ඉටි රෙද්දකින් ආවරණය කිරීම සුදුසුයි.සතුන් පරික්ෂා කිරීමට සෑම ටැංකියකටම වෙන වෙනම විදුරු කෝප්පයක් භාවිතා කරන්න.මෙයට විදුරු අඩු කෝප්පයක් ප්‍රමාණවත්ය. මේ අවස්ථාවට පත්වූ සතුන්ට දුබුරු ඇල්ගී හා “ස්පයිරෝලිනා” නම් කොළ ඇල්ගී විශේෂය ලබා දියයුතුය. එහෙත් මේ කොළ ඇල්ගී විශේෂය ලංකාවේදී සොයා ගැනීමට අපහසු නිසා කෘතිමව සැකසු “ස්ප්යිරෝලිනා” පැකට් ඉස්සන් සදහා ආහාර විකුණන කඩයකින් ගෙන දවසට දෙවරක් යෙදීම සුදුසුය. දිනකට තෙවරක් කෑම යෙදිය යුතුය. කෑම යෙදීමට පෙර වතුර පරික්ෂාකර ජලයේ ඇල්ගී ඇත්දයි බැලිය යුතුය. සතුන් ක්‍රියාශීලිද,හොදින් ආහාර ගන්නවාදැයි පරික්ෂා කලයුතුය. හොදින් ආහාර ගන්නේ නම් පිටුපස පෙදෙසින් අගලක් දෙකක් පමණ දිග කෙස් ගසක් පමණ  “කක්කා වැලක්”{fecal chain} දැකිය හැක.නිරෝගී සතුන් හොදින් පිහිනයි, ඉස්සන් මෙන් ගැහෙමින් පිහිනනවා නම් වහාම අන්වීක්ෂයෙන් බැලිය යුතුය. බොහෝවිට පරපෝෂිත ජීවීන්ගේ හෝ දිලීර ආක්‍රමණයක් විය හැක.ආලෝක අන්වීක්ෂයෙන් කුඩා පුළුන් කෙදි මෙන් ඇති දිලිර සුත්‍රිකා පහසුවෙන් හදුනා ගත හැකිය. අන්වික්ෂිය පරපෝෂිත ජිවින්ද හදුනා ගත හැක. එවිට ජලය මාරු කිරීම හා  “මලකයිට් ග්‍රීන්” යෙදීම කරණු ලැබේ.
ආ(ර්)ටිමියා නොහොත් බ්‍රයන් ශ්‍රිම්ප්

“ශ්‍රිම්ප්” යන නම තිබුණත් ඉස්සන්ට නෑදෑකමක් නැත. සොයියාවන් ඊළග රූපාන්තරණය වන මයිසිස් ආකාරයට පත්වූ විට මාංශ ආහාර වලට කෑදර වෙයි. මෙහිදී බිත්තර වලින් එලියට ආ ආටිමියා හොද ආහාරයකි. කඩවල වියලි ආටිමියා ටින් ඇත. විසිතුරු මසුන් ඇති කරන්නන් මත්ස්‍ය පැටවුන්ට ආටිමියා දෙන්නේ පැහැපත් වර්ණ ඇති මසුන් ලබා ගැනීමටයි.( For better pigmentation)
මොවුන්ද කරදියේ වෙසෙන නිසා ලවණතාව 30 – 35 අතර මුහුදු ජලයේ හොදින් වැඩේ. නමුත් බොහෝ විසිතුරු මසුන් ඇති කරන්නන් ආටිමියා සෑදීමට සාමාන්‍ය ජලයට ලුණු කලවම් කරනු දක්නට ලැබෙයි. එහෙත් එය එතරම් සාර්ථක නොවේ. බොහෝ ආටිමියා බිත්තර වලින් පැටව් නොසැදී බොල්වෙයි. අටිමියා සතුන්ට ඊස්ට් දියකර ටැංකි වලට යෙදිය යුතුය. එය ඔවුන්ගේ ආහාරයයි. මෙම ආටිමියා සෑදීමට වෙනම කාමරයක් ඇත්නම් වඩා සුදුසුය.ලීටර් 250 – 300 පමණසිලින්ඩරාකාර  ෆයිබර් ග්ලාස් ටැංකි සුදුසුය. මයිසිස් තත්වයට රූපාන්තරණය වූ සතුන්ගේ වර්දනයට මේ සජීවී ආහාරය දීම අත්‍යවශ්‍ය වේ.
සොයියා මයිසිස් බවට පත්වීම
සිලින්ඩරාකාර සතුන් ඉස්සාගේ බාහිර ස්වරූපයට පත් වන්නේ මේ අවස්ථාවේදීය. මෙම රූපාන්තරණය සදහා ජලයේ උෂ්ණත්වය තදින්ම බලපායි, උෂ්ණත්වය අඩුවූ විට දිලිර ආසාදනය හා වෙනත් රෝගී තත්වයන් ඇතිවේ. වැහි කාලයක් වුවහොත් ටැංකි වලට හීටර් යොදා ජලයේ උෂ්ණත්වය වැඩිකලයුතු අවස්ථාද නැත්තේ නොවේ. නියමිත කාලයට රූපාන්තරණය සිදු නොවුනොත් සියළුම සතුන් මියයයි.
භාන්ඩ නිෂ්පාදන කම්හලක් නම් අඩු පාඩු ඇති භාණ්ඩ නැවත සැකසිය හැක. එහෙත් සජීවී නිෂ්පාදනයකට ඒවා වලංගු නොවේ. ටැංකිවල සතුන් 50% පමණ දුර්වලවී  මිය යමින් ඇත්නම් ක්ලෝරීන් දියර යොදා මුළු ටැංකියම ඉවත් කල යුතුය.
ම්යිසිස් අවස්ථාවේදී සතුන්ට හොදින් ආටිමියා හා  කෘතීම ආහාර සැපයිය යුතුය.දින කිහිපයකින් ම්ය්සිස් පැටවුන් නියම ඉස්සෙක් බවට පත්වේ. මේ අවස්ථාව පොස්ට් ලාවී (කටවහරේ පි එල් ) ලෙස හදුන්වයි. මේ සෑම රූපාන්තරණයක දීම හැව ඇරීමක් (shell removing) හෙවත් භාහිර සම ගැලවීමක් වන මුත් එය පැහැදිලිවම දැක ගත හැක්කේ ම්ය්සිස් පි එල් අවස්ථාවට පත් වන විටයි.
පොස්ට්ලාවී අවස්ථාව

දේහයේ හැඩය හා පිහිනන ආකාරය,ඉදිරි ගාත්‍රා සුහුබුල් සතාට සමානයි. ඇල්ගී වැනි ශාක ප්ලවාංග වලට වඩා ආටිමියා වැනි ආහාර වලට ප්‍රිය කරයි. ඇති තරම් ආහාර නොලැබුණොත් දුර්වල සතුන් ගොදුරු කර ගනී. මේ සෑම රූපාන්තරණයක්ම සිදුවූ වෙලාව හා දිනය සටහන් කර තබා ගැනීම වැදගත් වන අතර පි එල් අවස්ථාව විශේෂයි. එනම් සතාගේ වයස ගණනය කරන සම්මත ආකාරය  පි එල් අවස්ථාවට පත්වූ දින සිටයි. පි එල් 5 යනු දවස් පහක් වයස සතෙකි. නමුත් සත්‍ය නම් මෙයට නොප්ල්යි,සොයියා හා මයිසිස් ලෙස ගත කළ දින ගණනද එකතු විය යුතුය. මෙසේ නර්සරි ටැංකි වලට මාරු කරන විට කොපමණ සතුන් ප්‍රමාණයක් ඇත්ද කියා ගණනය කල යුතුය. මේ සදහා ජලය ලීටර් 1000 දක්වා අඩු කර සාම්පල කිහිපයක් ගෙන ගණන් කළ හැක.

තවත් විස්තර ඊළග පොස්ට් එකෙන්..

Sunday, 8 May 2016

පොම්ප හොරු හා ඉස්සාගේ රූපාන්තරණ , 3 වන කොටස



3 වන කොටස
පොම්ප හොරු හා ඉස්සාගේ රූපාන්තරණ
“නුවර අයියේ,නුවර අයියේ”
දිනක් රාත්‍රී 9 ට පමණ අපේ වැඩපලට තාප්පයෙන් අනික් පැත්තේ පිහිටා තිබුණු හචරියේ කොල්ලන් දෙදෙනෙකු කෑගසයි. මගෙන් ගම කොහේදයි අසන වෙන්නප්පුවේ, මීගමුවේ මිනිසුන්ට මම දෙන 10% පමණ සත්‍යක් ඇති පිළිතුර මෙයයි. නුවර පළාතේ කිව්වම මේ පැත්තේ අය පට්ටම ලයික්ය, දවසක් මහජන සව්ක්ය පරික්සක මහතා පැමිණියේ අපි ඉවත් කරන ජලය බැහැර කරන ආකාරය බැලීමටය. ඔහු විස්තර බලාගෙන යනගමන් මගෙන් ගම කොහෙදයි ඇසුවේය. මම නුවර යයි කීවෙමි. “මෙහෙ පරිස්සමෙන් ඉන්ඩ ඕනෙ වැල්ලේ හැපින්නියෝ ඉන්නවා” ඔහු ව්‍යංගයෙන් කිවේ වැල්ලේ කෙල්ලන්ගෙන් පරිස්සම් වන ලෙසයි. ඒත් වැල්ලේ ඇහැට කණට පේන කෙල්ලෙක් නම් දැක්කේ නැත. වැල්ලේ කෙල්ලෝ පට්ට කළු අව්ව නිසා විය හැක. පළාතටම සිටි සුදු කොට කෙල්ල මගේ බොක්කක් විසින් සෙට් කොරගෙන සිටියේය. උන්ගේ කසාදෙට අස්සන් කොළෙත් මමය. එය වෙනම පොස්ටුවකින් පසුවට ලියන්නම්ය.
සාමානයෙන් අපේ හැචිරියත් අල්ලපු හැචරියේ අයත් වැඩි කථා බහක්‌ නොතිබුණේ බොසා නිසාය. ඔහු එයට වැඩි කැමැත්තක් නොදැක්විය. එහෙත් සම වයසේ සිටි අපි පිටුපස වැටෙන් රිංගා වෙරළට ගොස් ඔවුන් සමග කථා කළෙමු.
“මොකද බං මහ රෑ කෑගහන්නේ” කාමරයේ ජනේලය ඇර මම ඇසුවෙමි.
“අයියේ අපේ වැල්ල පැත්තේ වතුර මෝටරයක් උස්සලා”
“අම්මට සිරි දැන්ද”
“දැන් වතුර ගහන්ඩ මොටරේ දැම්ම වැඩ කරන්නැති හින්ද ගිහිං බැලුව මොටරේ නෑ බං”
වාරකන් කාලයට තෙප්පන් මෙන්ම මහ බෝට්ටුද මේ පැත්තෙන් රස්සාවට නොයයි. මිනිස්සුන්ගේ අග හිගකම් අහස උසට නගී. එවන් කාලයට මෙවැනි සිද්දියක් වීම සාමාන්‍ය සිදුවීම්ය.
“අඩේ අපේ මොටරෙත් උස්සයිද දන්නේ නැ මම ගිහිං බලන්නං”
මම වෙරළ පැත්තට ගියේ සමන් මල්ලීත් සමගයි.
“මල්ලි රැට මේ පැත්තේ ටිකක් බලන්ඩ, රැට කෑම දාල රවුමක් ගිහිං එන්ඩ”
“හරි අය්යේ මම බලන්නම්, මේ පැත්තේ ලයිට් එකත් දාල තියමු එළිවෙනකං”
life-cycle-of-prawn-9-638.jpg“හා ඒක හොදයි”
හොදම සිද්දිය උනේ පසුවදාය. රාත්‍රියේ අල්ලපු හැචිරියේ මෝටරයක් නැතිවී ඇති බව මම බෝසිට කිවේ උදේ හතට පමණය. රාත්‍රි සේවය සදහා  විමලේ අයියා ටික දවසකට ගෙන්වා ගතයුතු බව ඇයගේ අදහස විය. බොසා පැමිණි විට ඇය සිද්දිය කියලාය. ලොක්කා මගෙනුත් විස්තර අසා විමලේ අය්යාට සිකුරිටි කාමරයේ නිදා ගැනීමට කාමරය කවුරුන්හෝ ලවා පිරිසිදු කර දමන ලෙස කිවේය.
එදින රෑ නවයට පමණ විමලේ අය්යා ආවේ බෙඩ් ශීට් එකක්ද රැගෙනයි. හොදටම පානය කර සිටි ඔහු තම සුපුරුදු පුරාජේරුව කියවන්නට විය. “අල්ලපු වැඩපලට ගමේ මිනිස්සු ගිනි තිබ්බා, ඒ එකෙක් මේකට අත තියන්ඩ වත් ආවේ නෑ. මම නැත්නම් උන් මේකටත් ගිණි තියනවා”
රාත්‍රී එකොළහට පමණ බොස්ගේ කටහඩින් අවදිවූ අපි මුර කුටිය ඇති දෙසට දිවගියෙමු. විමලේ අයියා මැරුණු මිනිසෙකුසේ නිදාගෙන සිටි. බොසා විමලේ අයියාගේ අතක්  සොළවමින් විමලේව ඇහැරවන්නට උත්සාහකරයි. හොද පදමට වෙරිවී සිටි විමලේ අයියා මර නින්දේය. අපි බඩවල් අල්ලාගෙන ඇති පදම් සිනහා වුනෙමු. ඉන්පසු කිසිදිනෙක ඔහු රෑ වැඩ සදහා නොපැමිණි අතර පසුව බෝසාද ඔහුට කිසිවක් නොකීවේය.
ඉස්සාගේ ඇස කපන්නේ මොකෙන්ද?
මේ සදහා විශේෂ අඩුවක් බාවිතා කරයි. අගල් දහයක් පමණ දිග කතුරක හැඩය ඇති මෙය කතුරකින් වෙනස් වන්නේ අගින් පිහිටා ඇති කොටස අඩුවක් මෙන් ඇති බැවිණි. කුඩා ගෑස් ළිපක් හෝ බන්සන් දාහකයකින් ගිනියම් කර ගන්නා මෙහි අග කොටසින් ඉස්සාගේ එක ඇසක් ඉවත් කරයි.මෙයින් සතියකට පමණ පසු බිත්තර වැඩෙන බව බලාගත හැක. හොදින් බිත්තර මෙරූ පසු (සති දෙකකින්) පමණ එක සතෙකු එක ටැංකියකට වන පරිදි “spawning tank” වලට මාරු කළ යුත්තේ සවස් කාලයේය. කොපමණ පුරුදු කාරයෙකුට උවත් මෙහිදී වරදින අවස්ථා තිබේ. එනම් මව් සතුන් සිටින ටැංකියේම බිත්තර දැමීමයි. මෙවැනි සුන්දර දර්ශනයක් දුටුවෝත් බොසී පමණක් නොව බෝසිගේ මහත්තයාද අවි අමෝරා ගෙන යුද්දයට පැමිණේ. ඇත්තටම මෙය මහා නාස්තියකි. මේ බිත්තර, බිත්තර දමන විශේෂ ටැංකියක මෙන් එකතුකර ගැනීමට අපහසුය. තවද මව් සතුන්ගේ යම් බැක්ටීරියා හෝ වෙනත් විෂ බිජ ඇත්නම් ඒවාද මේ බිත්තර වලට මිශ්‍ර විය හැක. මේ නිසා අප කරන්නේ හොදින් බිත්තර මේරු සියලුම සතුන් ගෙන බිත්තර දැමීමට වෙන්කර ඇති ටැංකිවලට දැමීමයි.මෙහිදී ආහාර ලෙස කුඩාවට කැපු දැල්ලන් කැබලි දෙක තුනක් දමයි. පසුදා උදෑසනම (උදේ 5 ට පමණ) ටැංකි පරික්ෂා කළ යුතුයි. එහිදී ලා රෝස,කහ  පැහැයට හුරු ජෙලි වැනි තරලයක් ටැංකි දාරයේ ඇත්නම් බබා හම්බෙලාය, ආ සොරි බිත්තර දාලය. “බිත්තර වලින් බබාලා එන්නේ හවසය”.
දැන් කියන්ඩ බලන්ඩ හොදින් වැඩුණු ඉස්සෙක් (Tiger Prawn)වරකට බිත්තර කියක් දානවද?




සාමාන්‍යයෙන් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා බිත්තර දානවා. මාරයි නේ, මාර නෑ දැන් බිත්තර ගණන් කරමු. මලා ලක්ෂ 5 – 15 කොහොමද ගනින්නේ????
මුලින්ම මතක් කර ගන්ඩකො උසස් පෙළ තාපය පාඩමේ මන්තය,නැත්නම් ඔරුව පදින තොටියගේ හබල අන්න ඒ වගේ එකකින් බිත්තර හොදින් මිශ්‍ර කරගන්නවා, පස්සේ ලීටර් එකක බාජනයකට සාම්පලයක් ගන්නවා,ඒකෙන් මිලිලීටර් දහයක සාම්පලයක් අරං ගණන් කරලා ඒක 100න් වැඩි කරන්නේ ලීටරයක තියෙන බිත්තර ගාන බලන්ඩ, පස්සේ ටැංකියේ වතුර ලීටර් ප්‍රමාණයෙන් ඒ එන ගාන වැඩි කලාම ඉස්සා දාපු බිත්තර ප්‍රමාණය දළ වශයෙන් හොයා ගන්ඩ පුළුවන්. පස්සේ බිත්තර පුපුරලා පැටවූ ආවහමත් මේ විදියටම ගාන බලාගන්ඩ පුළුවන්. “පොඩ්ඩක් හෝව්” අරවගේ මන්ත,හබල් දාල ඒ අසරණ අහිංසක සත්තුන්ට කරදර කරන්ඩ එපා. ඔයාට කරන්ඩ තියෙන්නේ කිඩ්නිය පාවිච්චි කරලා ටැංකියේ ඔක්සිජන් දෙන බටේ වැඩිපුර ඇරලා සාම්පලයක් ගන්න එකයි. මේකට 5ml බිකරයක් පාවිච්චි කරානම් හොදයි.
 ඒත් මේ හැම බිත්තරයක්ම “නොප්ලයි” අවස්ථාවට පත් වන්නේ නැහැ.මේ බිත්තර වලින් 20% විතර පුහු වෙනවා.උඩින් අලවපු පින්තුරේ බලන්ඩ. බිත්තර පුපුරලා පැටියෙක් එන්ඩ කළින් බිත්තරේ ඇතුලෙ සතෙක් හැදෙන හැටි සාමාන්‍ය අන්වීක්ෂයකින් බලන්ඩ පුළුවන්. අළුතින් වැඩට ගිය මම පැයෙන් පැයට බිත්තර සාම්පල් විදුරු කදාවකට දමා අන්වීක්ෂයෙන් බිත්තරයේ ඇතුළත හැඩය වෙනස්වෙන ආකාරය කොළයක ඇදගත්තේ ආසාවටය. මෙයදුටු බොසී මට බොහෝ ප්‍රසංසා කර සාගර විද්‍යාව හා “ටයිගර් ප්රෝන්ස්” ගැන ලියැවුණු පොත් කිහිපයක් බලන්නට දුන්නේය.මම ඒ පොත්වල ඇති වැදගත් කරුණු කොපි පොතක සටහන් කර ගන්නවා දුටු ඇය මේ ක්ෂේත්‍රයේ ඇය දන්නා කරුණු සියල්ලම මට කියා දෙන බව පැවසුවාය.
“මෙම නොප්ල්යි අවස්ථාවේදී සතුන් ආහාර වශයෙන් බාහිරින් කිසිවක් නොගනී”. උදේ දැමූ බිත්තර සවස 4 පමණ වනවිට කුඩා සතුන් බවට පත්වේ. මොවුන් නිරීක්ෂණයට අපි බාවිතා කළේ විදුරු අඩු කොප්පයි. සතුන් නිරෝගී නම් හොදින් ඉහළට ගමන් කරනු දැක ගත හැකිය.
මීළගට පැටවුන් වෙනත් විශාල  ටැංකියකට මාරු කිරීමට සුදානම් කළ යුතුය. “ක්ලෝරෆෝම්” යොදා වායු සැපයුම් නල පිරිසිදු කිරීම(විෂබීජ නාසනය) හා ටැංකි වලට “සෝඩියම් හයිඩ්රොක්සයිඩ්” හා ජලය යොදා සදා ගත් ද්‍රාවනයකින් විෂබීජ හරණය කිරීමත් පසුව සබන් දමා හොදින් සෝදා ගැනීමත් ඉතා වැදගත්.
නොප්ලයි විශාල ටැංකි වලට මාරු කිරීම
හිරු බැසගිය සැන්දෑ කාලය වඩා සුදුසුයි. මුලින්ම ටැංකියට ජලය පොම්ප කර “සෝඩියම් EDTA” නියමිත ප්‍රමාණය දමන්න.
 “ට්‍රිප්ලාන් හා ෆියුරසොලිඩන් නියමිත ප්‍රමාණය යොදන්න.(මෙය බෝතලයේ සදහන් කර ඇත)මේවා ප්‍රතිජීවක වන අතර ජලයේ හා සතුන්ගේ යම් විෂබීජ ඇත්නම් සතුන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. දැන් සතුන් සිටින ටැංකියේ උෂ්ණත්වය හා අළුත් ටැංකියේ උෂ්ණත්වය පරික්ෂා කරන්න. අවශ්‍යනම් ලවනතාවයද බලන්න.උෂ්ණත්වය අංශක දෙකකට වඩා වෙනස් නොවිය යුතුය. ලවණතාවය බොහෝවිට වෙනස් නොවේ(30 -34)වඩා සුදුසුය.
“ලවණතාවය වෙනස්නම්???”
බුදු මල්ලියේ ඔය ටෙක්නිසියන් කම දීපන් පොඩි එකෙකුට!!!
“යකෝ ටැංකි ඉස්ටෝක් කරන්ඩ කියල වෙනම රිසර්වර් ටැංකියක් තියාගනින්”
ඔන්න ඔහොම ඇර ගන්නා අවස්ථාද නැත්තේම නැත.
දැන් පොඩි ඇටවුමක් හදා ගත යුතුය.මුළින්ම අගලේ එස්ලෝන් බටයක් ගෙන බිත්තර ඇති ටැංකියේ කට හරහා යොදා වැඩිපුර කොටස කපා දමන්න. “ඕකට ලි කෑල්ලක්, රිප්පයක් ගන්ඩ බැරිද??
“ආයේ මගුලක් කථා කරනවා! යකෝ ලී කෑලි වතුරට ජරා වෙනවා ඕව හරියට විෂබීජ හරණය කරන්ඩත් බෑ.”
දැන්මේ බටේ උඩින් කළු ඉටිරෙද්දක් දාල ටැංකිය වහන්ඩ ඕනේ, හැබැයි පොඩි ප්‍රමාණයක් අගල් කීපයක් ඉතුරු වෙන විදියට. දැන් වයර් එකකට හොල්ඩරයක් හා විදුලි බල්බයක් සවිකරලා අර ටැංකියේ ඉටි රෙද්ද වහපු පැත්තෙන් එල්ලන්ඩ ඕනේ. දැන් ඩොන් ගාල ස්විච් එක දැම්මම පොඩි ඉස්සන්ට නැත්නම් නොප්ලයින්ට අපි ඉතිරි කරපු සිදුරෙන් ආලෝකය පේනවා, එතකොට වැඩ කාරයෝ මුලින්ම වේගයෙන් උඩට එනවා, මොකද මෙයාල ආලෝකයට ගොඩක් සංවේදියි. දැන් ප්ලේක්සිබල් බටයක් ආදාරයෙන් උඩට එන අයව ලීටර් 20 බාල්දියකට සයිපන් කරලා ගන්ඩ ඕනේ. විසිතුරු මාළු හදන අයට නම් මතක ඇති වතුර මාරු කරන විදිය.
“ඔච්චර කැටයම් දාන්නේ මොකටද? ටැංකියේ පහළ කරාමෙ ඇරලා ඔක්කම පැටව් ටික ගත්තනම් ඉවරයිනේ”
“යකෝ මෙතන ලෙඩ්ඩු, කොරු අන්දයෝ, කම්මැලියෝ, හොරු ඉන්නවා උන්ව අනෙක් ටැංකියට ගියොත් හොද සත්තුත් ලෙඩ වෙනවා.”
දැන්මේ ආකාරයට විනාඩි විස්සකදී පමණ සියලුම ක්‍රියා ශීලි සතුන් ආලෝකය වෙත පැමිණෙයි. එසේ එන සතුන් වරින් වර ගෙන ගොස් අළුත් ටැංකියට දැමිය යුතුය. පසුව ටැංකිය කළු ඉටි කොළයකින් වැසිය යුත්තේ උෂ්ණත්වය වෙනස් වීම පාලනය කිරිමටය.

ඊළග පොස්ට් එකෙන් තවත් විස්තර කියවන්න., 
නැවත හමුවෙමු.