Thursday 9 June 2016

හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටස


නැවත හමුවිම
සති දෙකකට පමණ පසු නැවත මම මේ ෆිලිපින් පවුල සොයා ගියේ එකල දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ බැවිණි. බොසිගේ පුතාගේ උපන්දින සාදයට පැමිණෙන ලෙස ආරාදනා කිරිමට හා  හදිසි අවශ්‍යතාවයක් සදහා පණිවිඩයක් දීමට හැකි තැනක දුරකථන අංකයක් ලබාගැනීමත් මට පැවරුණි. හලාවත පොත් කඩයකින් දියසායම් පෙට්ටියක්,බ්‍රිස්ටල් බෝඩ්, මලයාට පාසැල් පොත් කිහිපයකුත් (චිත්‍ර ඇදීමට ගන්නේ සුදු පැහැති බෝඩ් පමණි, මා ගෙන ගිය ඒවා අතර තිබූ වෙනත් වර්ණ සහිත බෝඩ් ඔවුන් පසුව මාරු කරගෙන තිබුණි.) යනවිට රැගෙන ගියෙමි.
එදින අප බොහො වෙලාවක් කථා කරමින් සිටි අතර මගේ ඉංග්‍රීසි සිංදු ඇති කැසට් පටයකට(ශකිරා හා බැක්ස්ට්‍රීට් බෝයිස් ) ඔවුන්ගේ ඉංග්‍රීසි කැසට් පටයක්(රිකි මාටින්,mariah carey) හුවමාරු කර ගතිමි.
ලොකු සී ආර් පොතක් රැගෙන පැමිණි ලෝරා එය පුරවන ලෙස ඉල්ලා සිටියේය. කිසියම් මිතුරු සමාජයක නමක් තිබූ එහි මුල් පිටුවේ “සාමාජිකයින්ට පමණයි” යනුවෙන් සදහන් කර තිබුණි. සමේ වර්ණයේ සිට ඇස් වල වර්ණය දක්වා ප්‍රශ්න 15 පමණ තිබූ එය මම දැක්කේ පොඩිවුන්ගේ විකාරයක් ලෙසයි.
එය පිරවීමෙන් පසුව මට පොකට් කැලැන්ඩරයක තරමේ කාඩ් පතක් දුන් ඇය “අපි බඩු ගන්න කඩේ අංකල්ගේ නමත් ලලිත් අපි ඔයාට ලාල් අයියා” කියන්ඩ දැයි ඇසුවේය.
නමනම් මොකක් කිව්වම මොකද? නමක් තියෙන්නේ වෙන්කරලා හදුනා ගන්ඩනේ, නැද්ද?

 පසුව ඔවුන්ගෙන් සමුගෙන  කාමරයට පැමිණි මා නැවත ඔවුන් මට දුන් කාඩ් පතේ මගේ පෙට් නේම් ලෙස “ලාල්” යයි සදහන් කර ඇති බව දුටුවෙමි. පහළවී ඇති දූත ලක්ෂණ අනුව හාවා කැලයෙන් එළියට විත් දඩයක්කාරයාගේ දෙපතුළ ඉදිරිපිට සිටගෙන සිටින බව මගේ ටියුබ් ලයිට් මොළයටද වැටහිණ.

                   ---
                    -- -- -
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව : - තොට පිස්සුද මේ වගේ රට කෙල්ලෙක් එක්ක  
                                                   යාළුවෙන්ඩ?
හදවත                                  :- කෝමද මල්ලී සුද්දියෙක් එක්ක යනකොට, මාර ගැමම   
                                                නේ
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව :- මිනිස්සු උබට හිනාවෙයි, ලජ්ජා නැද්ද බං
හදවත                                   :- බලපන්කො කෙල්ලගේ කඩුව සට සට ගාල නෙලන
                                               හැටි,පාර්ටියකට,ඕනෙ තැනකට එක්ක යන්ඩ පුළුවන්
මස්තිෂ්කයේ ලලාට කන්ඩිකාව :- ඔය කලිසන් අදින ගෑණු අපිට හරියන්නේ නැ,
                                                අඩුගානේ පෝය දවසකට පන්සලකටවත් එක්ක
                                                ගියහැකිද?
මම දවල්  සිහින දකින්නෙක් වීමි. දිළිසෙන කළු අශ්වයෙකුගේ පිටේ නැගි මා මල් ගොමු අතරින් තුරු වදුල කට සෙමින් අසු පැන්නුවෙමි. තුරු අතරින් ඈතින් දිය ඇල්ලක ශබ්දයක් හා සුදු ඇදගත් ලෝරාගේ රුව දිස්විය,සැඩ හිරුරැස් වැටී  ඇයගේ වරළස රත් පැහැවී තිබුණි.ඇය අසු මතට ගැනිමට අත දිගු කලා පමණි.....
“අය්යේ මැඩම් කථා කරනවා”
“මොකද බං මම එන්නම්” මල කරුමයක්නේ උදේ පාන්දරට ටිකක් නිදාගන්ඩවත් නෑ කියල ඔරලෝසුව දිහා බැලුවා මලා නමයයි.
ගුඩ් මෝනින්, මොනවහරි ප්‍රශ්නයක්ද” අනිවා ගින්නක් තමයි.
“මේ බලන්ඩ (වීදුරුවකට ගත් සාම්පලයක් පෙන්වමින්) මේ සත්තු සොයියා වලින් මයිසිස් වලට හැරිලා, උදේ ආර්ටිමියා දීල නෑ, මේ සත්තු දුර්වලයි, වැඩ කරන අයගෙන් ඇහුවම කියනවා මේකට ආර්ටිමියාදාන්ඩ කිව්වේ නැහැල්ලු ”
යකෝ මටද අද උදේ ටැංකි බලන්ඩ තිබුණේ මම හිතනවා. හරි නේන්නම් ඊයෙත් මම උදේ බැලුවේ නැහැනේ.
අපි දෙන්නා දවසක් ඇර දවසක් උදේට ටැංකි බැලුවේ. වැරැද්ද මගේ.
“ගෑණු ළමය ගැන හිතනවා වගේ” ලොක්කි හිනා වෙනවා හක හක ගාල, කට දෙපැත්තට ඇදිල මුක්කන් නහය තවත් ඇදිල හතරැස් මුණ ප්ලෑට් වෙනවා...
මම පව්.....
පොඩි එකාගේ උපන්දිනේට ආවම අහල දානව, ආවොත් අලියෙක් ගියොත් වචනයක් නේ...
මම බුද්දාගමේ හන්ද අකමැති වෙයිද? මෙහෙම හිතල මම කණ්නාඩියෙන් ප්‍රතිබිම්බේ දිහා බලනවා,මුණේ නම් අවුලක් නැ කියල පැණි හිනාව දාල මම ප්‍රතිබිම්බෙට කියනවා.
සිහින සාගරයක ගිලී වෙලී ටැපලී සති දෙකක් විතර ගතවෙනවා..අන්තිමට හදවතයි මශ්තිෂ්කයයි එකගතාවයකට එනවා “කසාද බදින්ඩ නෙවෙයිනේ යන්නේ යාළු වෙන්ඩනේ නොගැලපීමක් තියේනම් කථාකරලා අයින්වෙන්ඩ පුළුවන්නේ” කියන මතයෙන්.
උපන්දින පාටියට දවස් දෙකකට කලින් හවස් වරුවක ලොක්කි මට බටර් ගානවා. “හෙට උදේ මම ටැංකි බලන්නම් පොඩි උදව්වක් කරන්ඩ පුලුවන්ද”
දෙකක් නෑ මේ බටර් ගාන්නේ හෙටත් මීගමුවේ නැත්නම් වෙන්නප්පුවේ හරි යාළුවෙක්ගේ ගෙදර යන්ඩ, බොසත් කොළබ ගියානේ.
“මොකක්ද කරන්ඩ ඕනේ”
“අපේ අර අළුත් යාළුවන්ට එන්ඩ වාහනයක් හොයාගන්ඩ බැරි වෙලා , මෙහෙ හන්දියේ තියෙන වැන් එකකට කථා කරලා බලන්ඩ පුලුවන්ද”
මාව නිකන් අත්තටු දෙකක් ලැබිල එක පාරටම සට සට ගාල ගුවන් ගත වෙනවා වගේ දැනී නොදැනී යනවා..
“මෙහෙ ඉදල වාහනයක් අරං ගියොත් පාඩුයි නේද? මෙහෙ ඉදල ගිහිං ඇවිත් ආයෙත් ගිහිං දාල ආපහු එනකොට ට්‍රිප් හතරක්නේ” මගේ ටියුබ් ලයිට් මොළේ එරර් නැතුව වැඩ..
“මම හලාවතින් වෑන් එකක් අරං යන්නම්”
“ආ ඒක හොදයි”
ලොක්කි වැඩේ අනුමත කරනවා.
දවස් දෙකක් ගෙවෙන්ඩ යන කාලයක්, මගෙ හිතට ඉවසිල්ලක් නෑ. මම දකින දවල් සිහින වල සිමාවකුත් නෑ.
හදවතින්ම රොමැන්ටික් හීන බල බල ඉන්නකොට “මෂ්ඨිස්කයේ ලලාට කන්ඩිකාවේ න්යුරෝන ශයිල” පරණ කතන්දරයක් මතක් කරලා දෙනවා. කවුරුත් අහල තියෙන “ඇල්බට් අයිස්ටයින්” විදුදරයාට නගරයේ ජනප්‍රිය නිළියක් කරපු මංගල යෝජනාවක්.. 
“ඔබගේ බුද්ධිය ඇති මම වැනි රුවක් ඇති දරුවෙක් හදමුද” කියල නිළිය අහල තියෙනවා. ඒක ඒ මහා විදුදරයා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ “ඕකේ අනිත් පැත්ත උනොත් මොකද වෙන්නේ, මගේ වගේ කැත මුහුණකුයි ඔබගේ වගේ මෝඩ මොළයක් තියෙන දරුවෙක් ඉපදුනොත්”
අන්න ඒ වගේ පැතලි නහයක්, චීනෙක්ගේ වගේ පොඩි ඇස් දෙකක් තියෙන ළමයෙක් හම්බ උනොත්...........
ඒත් හදවතේ ඉන්න එකා ඔය තර්ක පිළිගන්නේ නෑ.........මේ වගේ අවස්ථාවක් මේ වගේ වාසනාවක් ආයේ ජිවිතේට එන්නේ නැ.......
අන්තිමේ බුද්ධිය, හදවතත් එක්ක කරන ද්වයන්ද්ව සටනෙන් පැරදිලා මෙහෙම කියනවා.
“කමක් නෑ යාළුවෙනවා විතරයිනේ, ගැලපීමක් නැත්නම් පස්සේ අයින් වෙයන්”
ඒ භයංකර මොහොත             
උදේ පාන්දරම නැගිටලා පාන්දර කිව්වට හතට හත හමාරට නැගිටලා නානකාමරේට ගිහිං සිතල වතුරෙන්  නාන්නේ “බෑක්ස්ට්‍රීට් බෝයිස්ලා” ගේ “අයි ඩෝන්ට් කෙයර් හු යු ආ” මරල තවත් ගායකයින්ගේ නම් නොදන්නා සිංදු කීපයක් කිසි අනුකම්පාවක් නැතුවම  මරනවා...
නාගෙන ඉවරවෙලා අළුතින් ගත්ත තඩි පොකට් තියෙන තද කොළපාට කලිසමයි, ලා කොළපාට ලොකු කොටු තියෙන කමිසෙයි ඇදගෙන බ්රුට්(සැර සුවදක් එන ආෆ්ටර් ශේව් එකක්) කමිසෙට හලා ගන්නවා.
බොසියි මහත්තයයි බරටම පාටියට ලැහැස්ති වෙනවා. ඌරු පැටියෙක් ගෙනැල්ල “බාබකිව්” කරනවා කිව්වට ගෙනත් තියෙන්නේ ඌරු මස්. දෙන්න එක්ක සිසන් කරපු මස් “බාබකිව් ස්ටික්” වල අමුණනවා. මම ගිහිල්ල එන්නං කිව්වම බෝසි අර කැත හිනාව දාල “ගුඩ් ලක්” කියනවා.
හැචරියේ ගේට්ටුව ළග ඉදලා ප්‍රධාන පාරට එනකං තියෙන කිලෝ මීටරයක් විතර දුර මිටර් සීයක දුරක් වගේ මට දැනෙන්නේ.
හලාවත ටවුන් එකෙන් බහින මම උදේට මස් හොදිත් එක්ක පරාට කන්නේ ලංගම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන මුස්ලිම් කඩේන්. වෑන් පාර්ක් එකේ විනීත මුහුණක් බලලා හයර් එක කථා කරන් වෙන්ඩ පෙම්වන්ති ලගේ ගෙදරට යනකොට දහයට විතර ඇති. වැල් දොඩම් ජුස් එකක් රියදුරු මහත්තයට දීලා මාත් එකක් බොනවා. කට්ටියම යන්ඩ ලැහැස්තියි, ඒත් වෙන්ඩ මාමා පෙන්ඩනැ.
 “තාත්තා එන්නේ නැද්ද” මම වෙන්ඩ ගැල්ලමයගෙන් අහනවා. ෆාම් එකේ වැඩ නිසා තම පියා කොහෙවත් නොයන බවත් අත් උදව්වට එන කොලුවා කෙරෙහි විශ්වාශයක් නැති බවත් ඇය කියනවා.
“ගිටාර් එකත් අරං යමුද” ඒ මම
“මට අමතක උනා” ලෝරා අයෙත් ගෙට ගිහිං ගිටාර් එක අරන් එනවා. මේ අවු අස්සේ පොඩි එකාට ඉස්සරහ සිට් එකට යන්ඩ ඕනේ කියල වෙන්ඩ නැන්දම්මත් එක්ක වලියක්.
“මල්ලි නගින්ඩ ඉස්සරහින්” කියලවත් කරගන්ඩ බැරි දෙයක්නේ කියල මං හිතනවා. ගෑල්ලමයා දෙවෙනි සිට් එකේ ජනේලේ පැත්තේ, ඇන්ටී දොර ළග සිට් එකේ ජනේලේ ළග, මම ඒ සිට් එකේම දොර ළග. 
අවුලක් නැ පේන මානයක හරි ඉන්නවනේ, ඒත් කොහොමද මෙව්වා එක අහන්නේ...

(හයියෝ මේක ඇදී ඇදී යනවා ලබන කොටසෙදිවත් අහනවා....)


24 comments:

  1. වැඩක් නැ උඹ ඒක කරගත්තේ නැනේ

    ReplyDelete
    Replies
    1. හපොයි, තුන් වේලටම මාංශ බක්ෂණය, සැලුන් මේකප් බිල්,බුදු අම්මෝ...

      Delete
  2. හරිම රසට ලියල තියනවා...

    //“කමක් නෑ යාළුවෙනවා විතරයිනේ, ගැලපීමක් නැත්නම් පස්සේ අයින් වෙයන්”//

    බුද්ධියටයි, හදවතටයි දෙකටම වැරදෙන තැන :)

    ReplyDelete
    Replies
    1. ස්තුතී ...හඃ හා...

      Delete
  3. ආධුනික පෙම්වතා ගම කයිද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලමුකෝ විචාරකතුමෝ...

      Delete
  4. හයියෝ ඉක්මණට ඕක අහපං ඩෝ...
    හිහි
    ඉතුරු ටික ඉක්මනට ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. හරි හරි...මේ ලියනවෝ ...

      Delete
  5. අදයි ආවේ.. අපූරුවට කතාව ලියලා තියනවා....
    ඊලඟ කොටසෙන්වත් අහලා දාන්නකෝ.... බදින්න නෙවෙයිනේ.. යාලුවෙලා බලන්නනේ...

    ReplyDelete
  6. ඒ කියන්නේ ඊළග කොටස එනකන්ම ඉන්න වෙනවා.
    හදවතයි ලලාට කණ්ඩිකාවයි අතර දෙබස අපූරුවට ලියලා තියෙනවා.
    අතපසු වූනු රාජකාරියට දඩුවම් එහෙම ලැබුණේ නැද්ද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ...හඃ හා...දඩුවම් නෑ, පොඩි බටර් පාරක් ගානවා,"ෂා ලස්සණ ෂෝර්ට් එක" වගේ වැඩේ ෂේප් ...

      Delete
  7. හොදයි අයියා ඉතුරු කොටහත් ඉක්මනට දාහන්.

    ReplyDelete
    Replies
    1. මේ ලියනවා ..මලයෝ...

      Delete
  8. කමක් නැහැ යාළු වෙනවා විතරනේ...
    ඉක්මණට ලියමු ඉතුරු කොටස...

    ReplyDelete
    Replies
    1. මොනවාද මේ කථා , හැබැයි ඔය යාළුවෙනවා විතරයි කියල කරන ඒවා තමයි දිග දුර යන්නේ...

      Delete
  9. ලියාගෙන පලයන්.හැබැයි මෙදා ලිවිල්ලෙ පොඩි අමුතු ගතියක් තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑද, ටැංකිව් වේවා...

      Delete
  10. කොමෙන්ට් එක දාන්න ඒ පාර ඊළඟ එක වෙනකම්ම ඉන්න වෙනවා.. අහපියකෝ ඉක්කනට..

    ReplyDelete
    Replies
    1. ලබන පාර ෂුවර් එකටම අහනවා....

      Delete
  11. මෙහෙමයි මචං ඒක කරගත්තා නං උඹට පාට්ටයිම් සිකුරිටි ජොබකුත් ඇදගෙන පාඩුවේ නඩත්තු කරගෙන ඉන්න තිබුණා.........

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න